කාමද සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

1.සූරිය වර්‍ගයේ

2.1.6.

කාමද සූත්‍රය

87.     මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ ආනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකත්පසෙක සිටි කාමද දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භාග්‍යවතුන් වහන්ස, (මහණ දම් පිරීම) දුෂ්කර ය. භාග්‍යවතුන් වහන්ස, ඉතා දුෂ්කර ය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:

කාමද, ශීලයෙන් යුත් ස්ථිර ස්වභාව ඇති ශෛක්ෂයෝ දුෂ්කරවුත් (මහණකම) කෙරෙත්. ගිහිගෙන් වෙන් බවට පැමිණියහුට සුව එළවන සතුට වේ.

භාග්‍යවතුන් වහන්ස, යම් ‍ඒ සතුටෙක් වේ ද, (එය) දුලබය.

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) කාමද, යම් කෙනකුන්ගේ සිත දහවලුත් රෑත් භාවනායෙහි ඇලුනේ ද, සිත සංහිඳුවීමෙහි ඇලුනු (ඔහු) දුලබ වූත් සතුට ලබත්.

භාග්‍යවතුන් වහන්ස, යම් ඒ සිතෙක් වේ ද, එය එකඟ කිරීම දුෂ්කර ය.

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) කාමද, ඉඳුරන් දමනය කිරීමෙහි ඇලුනෝ එකඟ කිරීම දුෂ්කර වූත් සිත එකඟ කෙරෙත්. කාමදය, ඒ ආර්යයෝ මරහුගේ දැල සිඳ ගෙණ යෙත්.

භාග්‍යවතුන් වහන්ස, මාර්ගය විෂමය, ගමන දුෂ්කර ය.

(භගවත්හු:)

කාමදය, ආර්යයෝ දුර්‍ගම වූත් විෂම වූත් මාර්‍ගයෙහි යෙත්. අනාර්යයෝ විෂම මාර්ගයෙහි යටිකුරු වූ (නුවණ) හිස් ඇත්තාහු වැටෙත්. ආර්යයන්ට මාර්‍ගය සම ය. ආර්යයෝ විෂම සත්ත්ව සමූහයා අතරෙහි සම වෙත්ම ය.