තාසන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

1.සූරිය වර්‍ගයේ

 

2.1.8.

තායන සූත්‍රය

89.     මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ ආනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි පැරණි තීර්ත්ථකරයකු වූ මනා ඡවි වර්ණ ඇති තායන දෙව් පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක සිටියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි තායන දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

බමුණ, වීර්යය කොට (තෘෂ්ණා) ශ්‍රොතස සිඳුව, කාමයන් දුරු කරව. මුනි තෙමේ කාමයන් පුහුන් නො කොට ධ්‍යානයට නො පැමිණේ.

ඉදින් කරන්නේ නම් මේ (වීර්යය) කරන්නේය. මෙය දැඩි කොට කරන්නේය. ඒ එසේ මැයි, ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.

දුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි, දුෂ්කෘතය පසුව (එය කළහු) තවයි. යමක් කොට නො තැවේ ද, (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.

යම්සේ කුසතණ පත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින්ම) වරදවා ගන්නා ලද මහණකම නිරයට අදියි.

යම්කිසි ලිහිල් කර්මයෙක්  වේද, සකිලිටි වූ යම් ව්‍රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ  මහත්ඵල නො වේ.

තායන දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වූයේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඈවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය පැරණි තීර්ත්ථකරයකු වූ මනා ඡවි වර්ණ ඇති තායන නම් දෙව් පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා මා වෙත එළඹියේ ය. එළඹ මට වැඳ එකත්පසෙක සිටියේ ය. මහෙණනි, එකත්පෙසක සිටි තායන දෙව්පුත් තෙමේ මා සමීපයෙහි මේ ගාථා කී ය:

බමුණ, වීර්යය කොට (තෘෂ්ණා) ‍ශ්‍රෝතස සිඳුව, කාමයන් දුරු කරව, මුනි තෙමේ කාමයන් ප්‍රහීණ නො කොට ධ්‍යානයට නො  පැමිණේ.

ඉදින් කරන්නේ නම් මේ (වීර්යය) කරන්නේ ය. මෙය දැඩි කොට කරන්නේ ය. ඒ එසේ මැයි. ලිහිල්ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.

දුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි. දුෂ්කෘතය පසුව (එය කළහු) තවයි. යමක් කොට නො තැවේ ද (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.

යම්සේ කුසතණ පත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින් ම) වරදවා ගන්නා ලද මහණකම කිරයට අදියි.

යම් කිසි ලිහිල් කර්මයෙක් වේද, සකිලිටි වූ යම් ව්‍රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ මහත්ඵල නො වේ.

තායන දෙව්පුත් තෙමේ මෙය කී ය: මෙය කියා මට වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.

මහණෙනි, තායන ගාථා උගණිවු. මහණෙනි, තායන ගාථා පිරිවහවු. මහණෙනි, තායන ගාථා දරවු. මහණෙනි, තායන ගාථා අර්ථසහිතයහ. මගබඹසරට මුල්වූවෝ ය.