දාමලි සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

1.සූරිය වර්‍ගයේ

2.1.5.

දාමලි සූත්‍රය

86.     මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ ආනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි මනා ඡවි වර්ණ ඇති දාමලි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි දාමලි දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

නොමැලි වූ ක්ෂීණාස්‍රව බ්‍රාහ්මණයා විසින් මේ වීර්යය කටයුතු ය. වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳ ඒ වි‍ශේෂ ප්‍රහාණීය හේතු කොට ගෙණ කිසි භවයක් නො පතයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. දාමලි දේවපුත්‍රය, (බාහිත පාපී) බ්‍රාහ්මණයාට කිසෙක් නැත. ඒ බමුණු තෙමේ කළ කිස ඇත්තේ ම ය. සත්ත්ව තෙමේ ගංගාවන්හි යම්තාක් පිහිටක් නො ලබා ද? (ඒ තාක්) සියලු අවයවවලින් වෑයම් කෙරෙයි. හෙ තෙමේ පිහිටක් ලැබ ගොඩ සිටියේ යම් හෙයෙකින් පරතෙරට ගියේ ද, (එහෙයින්) හෙ තෙමේ වෑයම් නො කෙරෙයි.

දාමලි, ධ්‍යාන කරණසුලු ප්‍රඥා ඇති ක්ෂීණාස්‍රව බ්‍රාහ්මණයාට මේ උපමායෙකි. හෙ තෙමේ ජාති මරණ දෙක්හි කෙළවරට පැමිණ පරතෙරට ගියේ ම වෑයම් නො කෙරෙයි.