පඤ්චාලචණ්ඩ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

1.සූරිය වර්‍ගයේ

2.1.7.

පඤ්චාලචණ්ඩ සූත්‍රය

88.     මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ ආනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකත්පසෙක සිටි පඤ්චාලචණ්ඩ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

මානය දුරු කළවුන්ට ශ්‍රේෂ්ඨ වූ යම් මුනිවරයෙක් ධ්‍යාන අවබෝධ කෙළේ ද, මහත් ප්‍රඥා ඇති ඒ බුදුරජ තෙමේ (නීවරණ) සම්බාධයෙහි ඒකාන්තයෙන් (ධ්‍යාන සඞ්ඛ්‍යාත) අවකාශය ලැබීය.

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) පඤචාලචණ්ඩය, යම් කෙනෙක් නිවණට පැමිණීම පිණිස සිහිය ලැබුවාහු ද, ඔහු සම්බාධ ඇති කල්හි දු ධ්‍යාන ලබත්. ඔහු මනා කොට සමාහිත වූවෝ ය.