පඨමකස්සප සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

2. දේවපුත්ත සංයුත්තය

1.සූරිය වර්‍ගය

2.1.1

පඨම කස්සප සූත්‍රය

      මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ ආනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති කසුප් දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය.  එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය.

එකත් පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “භාග්‍යවතුන් වහන්සේ මහණහු පැවසූ සේක. මහණහට අනුශාසනාව නො ද (පැවසූ සේක) යි.”

(භගවත්හු:)

කාශ්‍යපය, එසේ වී නම් මෙහි ලා තොපට ම වැටහේවා.

“වාක්සුචරිතය වඩන්නේ ය. ශ්‍රමණයන් විසින් එළඹිය යුතු අටතිස් අරමුණු ද කාය විවේකය ද (අෂ්ටසමාපත්ති වශයෙන්) සිත සංහිඳුවීම ද එකලාව වඩන්නේ”යි.

කසුප් දෙව්පුත් තෙමේ මෙය කී ය. ශාස්තෲන් වහන්සේ සමාන අදහස් ඇති වූ සේක.

ඉක්බිති කසුප් දෙව්දත් තෙමේ ශාස්තෲන් වහන්සේ මාගේ (වචන) අනුමත කළ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.