දුතියකෝකාලික සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

6. බ්‍රහ්ම සංයුත්තයේ

______________________

1 . කෝකාලික වර්ගය

6.1.10

 

 

දුතියකෝකාළික සූත්‍රය

181. සැවැත්නුවර -

 

එකල්හි කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. වහන්ස, සැරියුත් මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තෝ ය. ලාමක ආශාවන්ට වසඟ වූවෝ ය.

 

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීහ.

 

දෙවනවට දු කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා විසින් ඇදහියයුතු වචන ඇත්තාහු ම ය. විශ්වාස කටයුතු වචන ඇත්තාහු ම ය. එතෙකුදු වුවත් සැරියුත්මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තාහු ම ය. ලාමක ආශාවන්ගේ වශයට ගියාහු ම යයි.

 

දෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. “කෝකාලික, එසේ නොකියව. කෝකාලික, එසේ නොකියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත්මුගලන් තෙරහු ප්‍රියශීලීහ” යි.

 

තෙවනවට දු කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය ... ලාමක ආශාවන්ගේ වශයට ගියාහු යි.

 

තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ කොකාලික මහණහට මෙය වදාළ සේක. ... සැරියුත්මුගලන් තෙරහු ප්‍රියශීලීහ” යි.

 

ඉක්බිති කෝකාලික මහණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. ගිය නොබෝකල් ඇති කෝකාලික මහණහුගේ මුළුකය අබ පමණ වූ ගඩුයෙන් පතුළේ විය. අබ පමණ ව මුං පමණ වූහ. මුං පමණ ව මැහැ පමණ වූහ. මැහැ පමණ ව ඩෙබරඇට පමණ වූහ. ඩෙබරඇට පමණ ව ඩෙබර පමණ වූහ. ඩෙබර පමණ ව ඇඹුළුපක් පමණ වූහ. ඇඹුලුපක් පමණ ව බෙලිබොබොළු පමණ වූහ. බෙලිබොබොළු පමණ ව බෙලි පමණ වූහ. බෙලි පමණ ව බිඳුනාහු ය. පූයාව ද ලේ ද වැගුරුණහ. ඉක්බිති කෝකාලික මහණ තෙමේ ඒ රෝගයෙන් ම කලුරිය කළේ ය. කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත්මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුම නිරයට පැමිණියේ ය.

 

ඉක්බිති මනා ඡවිවරණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කෝකාලික මහණ තෙමේ කලුරිය කළේ ය. වහන්ස, කලුරිය කළ කොකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුමනිරයට පැමිණියේ යයි. සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඉක්ම යෑමෙන් භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය මනා ඡවිවරණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා මා වෙත එළඹියේ ය. එළඹ මට වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ මට මෙය කී ය. වහන්ස, කොකාලික මහණ තෙමේ කලුරිය කළේ ය. වහන්ස, කලුරිය කළ කොකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුමනිරයට පැමිණියේ යයි. මහණෙනි, සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා මට වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වි ය.

 

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, පුදුමනිරයෙහි ආයුඃප්‍රමාණය කොපමණ දිග ද? මහණෙනි, පදුමනිරයෙහි ආයුඃප්‍රමාණය දිග ම ය. එය වර්ෂ මෙතෙකැයි කියා හෝ වර්ෂ මෙතෙක් සියෙකැයි කියා හෝ වර්ෂ මෙතෙක් දහසෙකැයි කියා හෝ වර්ෂ මෙතෙක් ලක්ෂයෙකැ යි කියා හෝ ගණන් කරන්නට පහසු නො වේ. වහන්ස, උපමාවක් කරන්නට හැක්කේ ද? මහණ හැකි යයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

 

මහණ, යම්සේ කොසොල්රට ගණනින් විංශත්ඛාරියක් ගන්නා තලයාළෙක් වේ ද, පුරුෂයෙක් සියවසක් සියවසක් ඇවෑමෙන් එයින් එක් තලඇටය ඉවත දමන්නේ නම්, මහණ, කොසොල්රට ගණනින් විසිඛාරියක් ඇති ඒ තලයාළ මේ උපක්‍රමයෙන් වහා ගෙවීමට අවසන් වීමට යන්නේ ය. (එහෙත්) එක් අබ්බුද නිරයක ආයුෂය නො ගෙවෙන්නේ ම ය. මහණ, අබ්බුද නිරය විස්සෙක ආයුඃප්‍රමාණය යම් බඳු ද, එක් නිරබ්බුද නිරයෙක ආයුඃප්‍රමාණය එබඳු ය. මහණ, නිරබ්බුද නිරය විස්සෙක් යම් බඳු ද, එක් අබබ නිරයෙක් එබඳු වෙයි. මහණ, අබබනිරය විස්සෙක් යම් බඳු ද, එක් අටට නිරයෙක් එබඳු වෙයි. මහණ, අටටනිරය විස්සෙක් යම්සේ ද, එක් අහහ නිරයෙක් එසේ ය. මහණ, අහහ නිරය විස්සෙක් යම් සේ ද, එක් කුමුද නිරයෙක් එසේ ය. මහණ, කුමුද නිරය විස්සෙක් යම්සේ ද එක් සොගන්ධික නිරයෙක් එසේ ය. මහණ, සොගන්ධික නිරය විස්සෙක් යම්සේ ද, එක් උප්පලනිරයෙක් එසේ ය. මහණ, උප්පලනිරය විස්සෙක් යම්සේ ද, එක් පුණ්ඩරීක නිරයෙක් එසේ ය. මහණ පුණ්ඩරීක නිරය විස්සෙක් යම්සේ ද, එක් පදුම නිරයෙක් එසේ ය. මහණ කොකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ (ඒ) පදුම නිරයට පැමිණියේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාර නැවත ද මෙය වදාළ සේක.

 

අඥාන තෙමේ දුබැසි බෙණෙමින් යමෙකින් තමා සිඳී ද, උපන් (එබඳු) මිනිසාගේ මුවෙහි (ඒ තමා නසන) කෙටේරිය හටගණී.

 

යමෙක් නින්දා කටයුත්තා පස්සා ද, යමෙක් පැසසිය යුත්තේ නම් ඔහුට නින්දා හෝ කෙරේ ද, හෙ තෙමේ මුවෙන් පව් රැස් කෙරෙයි. ඒ පවින් සුවයක් නො විඳී.

 

දූකෙළීම් ආදියෙහි යම් වස්තු පරාජයෙක් වේ ද, තමනුත් සමග සියලු දෙය සම්බන්ධ (යම් පරිහානියකුත් වේද,) ඒ අපරාධය ඉතා ස්වල්ප ය. යමෙක් සෝභන ගති ඇත්තවුන් කෙරෙහි සිත දුෂ්ට කරන්නේ ද, මෙය ම ඉතා මහත් අපරාධ යයි.

 

ආර්යයන්ට ගරහන පුද්ගල තෙමේ ලාමක වූ වචන ද, සිත ද පිහිටුවා (ඒ හේතුවෙන්) යම් නිරයකට පැමිණේ ද, එහි ආයුෂය නිරබ්බුද ලක්ෂයෙක් ද සතිසෙක් ද අබ්බුද පසෙක් ද වෙත්.

 

දසවැනි වූ දුතිය කෝකාලික සූත්‍රය නිමියේ ය