ප්‍රමාද සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

6. බ්‍රහ්ම සංයුත්තයේ

______________________

1 . කෝකාලික වර්ගය

6.1.6

 

ප්‍රමාද සූත්‍රය

 

177. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

 

එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණය පැමිණිසේක් චිත්තවිවේකයෙන් වැඩහුන් සේක. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම ද පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාස ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වෙන වෙන ම දොර බා ඇසුරු කොට සිටියහ. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාසහට “නිදුකානෙනි, භාග්‍යවතුන් වහන්සේ දිවාවිහාර ගත වූ සේක් චිත්තවිවේකයෙන් වැඩහුන් සේක. (එහෙයින් ඒ) භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නට තව කල් නොවේ.

 

“අසූවල් බඹලොව (ධ්‍යානසුඛයෙන්) සමෘද්ධවූයේත් (අභිඥා පුෂ්පයෙන්) පිපියේත් වෙයි. බ්‍රහ්ම තෙමේ ද එහි ප්‍රමාදවිහරණයෙන් වාසය කෙරෙයි. නිදුකානෙනි, යම්හ ඒ බඹලොව කරා එළඹෙන්නෙමු. එළඹ ඒ බඹහට සංවේග දනවන්නෙමු”යි මෙය කීය. පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ නිදුකානෙනි, එසේය යි පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට පිළිවදන් ඇස්වීය.

 

ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළුෑ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි අතුරුදහන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.

 

ඒ බ්‍රහ්ම තෙමේ එන්නා වූ බ්‍රහ්මයන් දුරදී ම දැක්කේය. දැක ඒ බ්‍රහ්මයන්ට “නිදුකානෙනි, දැන් තෙපි කොහි සිට එවු දැ”යි මෙය කීය.

 

එකල්හි නිදුකානෙනි, අපි ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ සමීපයෙහි සිට එමු. නිදුකානෙනි, තෙපි ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට උවටැන් කිරීමට යන්නාහු ද?

 

මෙසේ කියන ලද ඒ බඹ තෙමේ ඒ වදන නො ඉවසමින් දහස් වරක් තමා මවා ගෙණ පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට නිදුකානෙනි, තෙපි මාගේ මෙබඳු වූ ඍද්ධ්‍යානුභාවය නො දකිවු දැ යි මෙය කීය.

 

නිදුකානෙනි, මම තොපගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය දකිම් ම ය.

 

නිදුකානෙනි, ඒ මම මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙම් මෙබඳු මහත් අනුභාව ඇත්තෙම් අන් කවර මහණකුට හෝ බමුණකුට හෝ උවටැන් කිරීමට යන්නෙම් ද?

 

ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ දෙදහස් වරක් තමා මවා ගෙණ ඒ බඹහට නිදුකානෙනි, තෙපි මාගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය නො දකිවු දැ’යි මෙය කීය.

 

නිදුකානෙනි, මම තොපගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය දකිම් ම ය.

 

නිදුකානෙනි, තොපට ද අපට ද වඩා ඒ භාග්‍යවතුන් වහන්සේ ම මහත් ඍද්ධිත් ඇති සේක. මහත් අනුභාවත් ඇති සේක. නිදුකානෙනි, තෙපි ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උවටැනට යවු.

 

ඉක්බිති ඒ බඹ තෙමේ පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට ගාථායෙන් කී ය.

 

තුන්සියක් ගුරුළුරූ නොහොත් ගුරුළුපඞ්ක්ති ද, හාරසීයක් හංසරූප නොහොත් හංසපඞ්ක්ති ද, පන්සියක් ව්‍යාඝ්‍රසදෘශ මෘගරූප නොහොත් වගවැළ ද ධ්‍යායී වූ මාගේ (විමානයෙහි වෙත්) බ්‍රහ්මය, ඒ මේ විමන උතුරුදික්හි ආලොක කරමින් බබලයි. (මෙසේ ඉසුරුමත් මම අන්කවරකුට නම් උවටැන් කරන්නෙම් ද?)

 

වැලි තොපගේ මේ විමන උතුරුදික්හි ආලෝක කෙරෙමින් බබාලා ද (එහෙත්) රූපයෙහි දෝෂය ද, හැමකල්හි කම්පිත බවද දැක එහෙයින් මනා නුවණැත්තේ රූපයෙහි නො ඇලෙයි.

 

ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාද ද ඒ බඹහට සංවේගය දන්වා එහි ම අතුරුදන් වූහ. පසු කලෙක ඒ බඹ තෙමේ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උවටැනට ගියේ ද විය.

 

සවැනි වූ ප්‍රමාද සූත්‍රය නිමියේ ය.