බකබ්‍රහ්ම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

6. බ්‍රහ්ම සංයුත්තයේ

______________________

1 . කෝකාලික වර්ගය

6.1.4

 

බකබ්‍රහ්ම සූත්‍රය

 

 

 

 

 

175. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි බක බ්‍රහ්මයාහට “මෙය (බ්‍රහ්මස්ථානය) නිත්‍ය ය. මෙය ස්ථිරය, මෙය ශාශ්වත ය. මෙය කේවලය. මෙය ව්‍යුත නො වන ස්වභාව ඇත්තේ ය. මෙය නූපදී යි. නො දිරයි. නො මියෙයි. ව්‍යුත නො වේ. නො හටගණී. මෙයින් මතු අන් නිස්සරණයෙක් නැතැ”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියෙක් උපන.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ තමසිතින් බකබඹුහුගේ චිත්තපරිවිතර්කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළුෑ අත දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම දෙව්රම්හි අතුරුදන් වූසේක් ඒ බඹලොව පහළ වූ සේක. බකබ්‍රහ්ම තෙමේ එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදී ම දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය: “නිදුකානෙනි, එනු මැනව. නිදුකානෙනි, මුබට ස්වාගත වේවා. නිදුකානෙනි, මෙහි පැමිණීම පිණිස බොහෝ කලෙකින් මේ පර්යාය කෙළෙහි ය. නිදුකානෙනි, මෙය නිත්‍ය ය. මෙය ස්ථිරය, මෙය ශාශ්වත ය. මෙය කෙවලය. මෙය ව්‍යුත නොවන ස්වභාවය ඇත්තේ ය, මෙය නූපදී. නො දිරයි. නො මියේ, ව්‍යුත නො වේ, නො හටගණී. මෙයින් මතු අනික් නිස්සරණයෙක් නැතැයි.

මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ බක බඹහට මෙය වදාළ සේක: “යමෙක් නම් අනිත්‍ය වූවක් ම නිත්‍ය යයි කියා ද, අස්ථිර වූවක් ම ස්ථිර යයි කියා ද, අශාශ්වත වූවක් ම ශාශ්වත යයි කියා ද, ඛණ්ඩ වූවක් ම අඛණ්ඩ යයි කියා ද, ච්‍යුතවන ස්වභාවා ඇත්තක් ම ච්‍යුත නො වන ස්වභාව ඇත්තෙකැයි කියා ද, යමක් හටගණීද, දිරා ද, මියේ ද, ච්‍යුත වේ ද, නො හටගණී ද, එයත් මෙය නූපදී, නො දිරයි, නො මියෙයි, ච්‍යුත නො වෙයි, නො හටගණීයයි එසේ කියා ද, ඇත්තා වූ ම මත්තෙහි වූ අනෙක් නිස්සරණයෙක් වේ ද, (එසේ වතුදු) මතු අනෙක් නිස්සරණයෙක් නැතැයි කියා ද පින්වත්නි, ඒ බකබ්‍රහ්ම තෙමේ ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්ධ වූයේ ය. පින්වත්නි, ඒ බකබ්‍රහ්ම තෙමේ ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්ධ වූයේ ය"යි.

[බක බ්‍රහ්ම:]

ගෞතමයෙනි, (අපි) දෙසැත්තෑදෙනෙක් (කළ) පින්කම් ඇත්තමෝ ජාතිය හා ජරාව හා ඉක්ම වූම්හ. අනුන් තමන් විසිය ලා වැටෙම්හ. වෙදසඞ්ඛාත ඥානයෙහි කෙළවරට පැමිණියම්හ. මේ අන්තිම බ්‍රහ්මලෝකෝත්පත්ති යයි නොයෙක් ජනයෝ අප ප්‍රාර්ථනා කෙරෙත්.

[භගවත්හු:]

බකබ්‍රහ්මය, තෝ යම් දීර්ඝායුෂයක් සිතයි ද, තෙල දීර්ඝායුෂයෙක් නො වේ. තගේ (ඉතිරි වූ) ආයුෂ නිරබ්බුද ලක්ෂයෙකැ යි මම දනිමි.

[බක බ්‍රහ්ම:]

භාග්‍යවත්නි, (තෙපි) මම අනන්තදර්ශී වෙමි යි, ජාතිය හා ජරාව ද, ශෝකය ද ඉක්ම සිටියෙම් වෙමියි (කියව). මාගේ පුරාතන කර්මය කිම, ව්‍රතසමාදානය කිම? ශීලය කිම? යමක් (තොප අතින් අසා) මම දන්නෙම් නම් එය මට කියනු මැනව.

[භගවත්හු:]

ග්‍රීෂ්මකාලයෙහි පීඩිත පිපාසිත වූ බොහෝ මිනිසුන්ට තෝ යම් හෙයෙකින් පැන් පෙවූයෙහි ද, තාගේ ඒ පුරාතන වූ ව්‍රතය හා ශීලය හා නිදා පිබිදියයක්හු මෙන් (මම) සිහි කරමි.

ගංඉවුරෙහි (සොරුන් විසින්) අල්ලා ගන්නා ලද අත්පා බැඳ ගෙණ යනු ලබන ජනයා යම් හෙයෙකින් මිදී ද, තාගේ ඒ පුරාතන වූ ව්‍රතය හා ශීලය නිදා පිබිදියක්හු මෙන් (මම) සිහි කරමි.

මිනිසුන් නසනු කැමැත්තෙන් රෞද්‍ර වූ නාගයා විසින් ගඟ සළා මැද දී ගන්න ලද නැව බලහත්කාරයෙන් මැඩ මිදුවෙහි ය. ඒ පුරාතන වූ තාගේ ව්‍රතය හා ශීලය නිදා පිබිදියකු මෙන් සිහි කරමි.

තට කප්ප නම් අතවැස්සෙකිම් වීමි. (ඒ තා) නුවණැත්තකු කොට ද ව්‍රතසම්පන්නයකු කොට ද (මම) සිතුවෙමි. ඒ පුරාතන වූ තාගේ ව්‍රතය හා ශීලය නිදා පිබිදියකු මෙන් සිහි කරමි.

[බක බ්‍රහ්ම:]

මාගේ මේ ආයුෂය ඒකාන්තයෙන් දනිහි, සෙස්ස ද දනිහි, එහෙයින් (මුබ) බුද්ධ වව. එහෙයින් ම මුබගේ මේ දෙලියෙන අනුභාවය මුළුබඹලොව බබුලුවමින් සිටී

සිව්වැනි වූ බකබ්‍රහ්ම සූත්‍රය නිමියේ ය.