බ්‍රහ්මයාචනා සූත්‍රය

සූත්‍රාන්තපි

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

6. බ්‍රහ්ම සංයුත්තයේ

______________________

1 . කෝකාලික වර්ගය

6.1.1

ආයචන සූත්‍රය

 

172. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන සේක.

එකල්හි එකලාව චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් පහළ විය. මා විසින් අවබෝධ කළ මේ ධර්මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතු ය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් බැසගත නොහැක්ක. සියුම් ය. පණ්ඩිතයන් විසින් දැක්ක යුතු ය. මේ සත්ව සමූහයා (පඤ්චකාමගුණ නමැති) ආලයෙන් බැඳුනේ ය. ආලයෙහි ඇලුනේ ය. ආලයෙහි සතුටු විය. ආලයෙහි බැඳුන ආලයෙහි ඇලුනු ආලයෙහි සතුටු වූ මේ සත්ව සමූහයා විසින් ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නම් වූ යම් මේ දහමෙක් වේ ද, එය දුකසේ දැක්ක යුතු ය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ සියලු උපධිධර්මයන්ගේ දුරලීම වූ තෘෂ්ණාව ක්ෂය කිරීම වූ විරාගය වූ නිරෝධය වූ යම් මේ නිවණෙක් වේ නම් මේ දහම ද දුකසේ දැක්ක යුතුය. මම ද දහම් දෙසන්නෙම් නම් පරහුදු මාගේ ධර්මය දැන නොගන්නාහු නම් ඒ මට කළකිරෙනු වෙයි. ඒ මට වෙහෙසෙක් වෙයි.

තව ද භාග්‍යවතුන් වහන්සේට අනච්ඡරිය වූ (නැවත නැවත ආශ්චර්ය්‍යාවහ) පෙර නො ඇසූවිරූ මේ ගාථාවෝ වැටහුනහ.

මා විසින් දුකසේ අවබෝධ කරණ ලද ධර්මය දැන් පැවසීම නිෂ්ඵල ය. රාග ද්වේශයෙන් මැඩුනවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ නො කට හැක්ක.

රාගයෙන් රත් වූ මොහඳුරෙන් වැසුනු සත්වයෝ උඩුහොයට යන සියුම් ගැඹුරු දුකසේ දතයුතු ඉතා සියුම් මේ දහම නොදකිත්.

මෙසේ සලකන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමෙයි.

එකල්හි තමසිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිරිසිඳ දත් සහම්පති බඹහට මේ අදහස විය. යම් ලොවක තථාගත වූ අර්හත් වූ සම්මාසම්බුදුරජානන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමේ ද, පින්වත්නි, ඒ ලොව ඒකාන්තයෙන් නැසේ. පින්වත්නි, ඒ ලොව ඒකාන්තයෙන් වැනසේ යි. ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළුෑ අත දුගු කරන්නේ හෝ, දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම බඹලොව අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය.

ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසළුව එකස්කොට දකුණු දණමඬල බිම හැන භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා. පැණැසෙහි මඳකෙලෙස් රජස් ඇති සත්වයෝ ඇත. දහම් නො අසනබැවින් ඔහු පිරිහෙත්. දහම් අවබෝධ කරනුවෝ වන්නාහ”යි සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා වැලිදු මෙය කී ය.

පෙර මගධදනව්වෙහි මල සහිතයන් විසින් සිතන ලද අශුද්ධධර්මයෙක් පහළ වි ය. මේ නිවන්දොර අරිණු මැනවි. නිර්මලයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලද ධර්මය අසතවා!

සෙල්මුවා පවුමුදුනෙක්හි සිටියෙක් හාත්පස ජනසමූහයා යම්සේ දක්නේ ද. ප්‍රාඥයන් වහන්ස, සර්වඥ වූ පහ වූ ශෝක ඇති මුබවහන්සේ ද එබඳු දහම්මුවා පහයට නැග ජාතිජරාදුකෙන් වැඩුනු ශෝකයට බට ජනසමූහයා බලන සේක්වා!

දුනු ඇති වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. අනෘණ සැහැවි ඇති සාර්ථවාහයන් වහන්ස, ලොව හැසිරෙණු මැනව. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා, අවබෝධ කරන්නෝ වන්නාහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බඹහුගේ ඇරයුම් ද ලැබ සත්වයන් කෙරෙහි කරුණාවත් බවත් නිසා බුදුඇසින් ලොව බලා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලන සේක් නුවණැස්හි මඳකෙලෙස් රජස් ඇති සත්වයන්ද බොහො කෙලෙස් රජස් ඇති සත්වයන් ද තියුණු (ශ්‍රද්ධා ආදී) ඉඳුරන් ඇති සත්වයන් ද මෘදු ඉඳුරන් ඇති සත්වයන්ද (ශ්‍රද්ධා ආදී) උතුම් ආකාර ඇති සත්වයන් ද නපුරු ආකාර ඇති සත්වයන් ද පහසුවෙන් අවබෝධ කරවිය හැකි සත්වයන් ද පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි සත්වයන් ද පරලොව හා වරද භය විසින් දක්නාසුලු ව වසන ඇතැම් සත්වයන් ද පරලොව හා වරද භය විසින් නො දක්නාසුලු ව වසන ඇතැම් සත්වයන් ද දැක වදාළ සේක. යම්සේ උපුල්බෙනෙක හෝ පියුමිළුයෙක හෝ හෙළපියුමිළුයෙක හෝ ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වඩුනාහු දියෙන් මතු නොවූවාහු දිය ඇතුළත ගිලී වැඩෙන්නාහු වෙද්ද? ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි හටගත්තාහු දියෙහි වඩුනාහු දිය මතුපිට සම ව සිටියාහු වෙද්ද, ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි වැඩුනාහු දියෙන් උඩට නැගී දියෙන් නො තැවරුණාහු සිටිද් ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලනසේක් අප්පරජක්ඛ සත්වයන් ද, මහාරජක්ඛ සත්වයන් ද, තික්ඛින්ද්‍රිය සත්වයන් ද, මුදින්ද්‍රිය සත්වයන් ද, ස්වාකාර සත්වයන් ද , ද්වාකාර සත්වයන් ද, සුවිඤ්ඤාපය සත්වයන් ද, දුවිඤ්ඤාපය සත්වයන් ද, පරලොකවජ්ජභයදස්සාවී ව වසන ඇතැම් සත්වයන් ද, පරලොකවජ්ජභයදස්සාවී නො ව වසන ඇතැම් සත්වයන් ද දැක වදාළ සේක. දැක සහම්පති බඹුහට ගාථායෙන් පෙරළා වදාළ සේක.

ඔවුන්ට අමාදොර නොවැසින. යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ශ්‍රද්ධාව මුදත්වා. බ්‍රහ්මය, මිනිසුන් අතර වෙහෙසීම් පමණකැයි යන හැඟීම් ඇත්තෙම් ප්‍රගුණ වූ ප්‍රණීත ධර්මය නො කීයෙමි.

ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මදේශනාව පිණිස කරණ ලද අවකාශ ඇත්තෙම් වෙමි යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.

පලමු වෙනි වූ ආයාචන සූත්‍රය නිමියේ ය