අරුණවති සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

6. බ්‍රහ්ම සංයුත්තයේ

______________________

2. පරිනිබ්බාණ වර්ගය

6.2.4

 

 

අරුණවතී සූත්‍රය

 

185. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

පෙරවූවක් කියමි. මහණෙනි, අරුණවත් නම් රජෙක් විය. මහණෙනි, අරුණවත් රජහට අරුණාවතී නම් රාජධානියෙක් විය. මහණෙනි, භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අරුණාවතී රාජධානිය ඇසුරු කොට වැඩවිසූ සේක. මහණෙනි, භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට අභිභූසම්භව නම් අග්‍ර වූ භද්‍රයුගලය වූ ශ්‍රාවක යුගලයෙක් වි ය.

ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක. “බමුණ, යමු බත් වේලාව යම්තාක් වේ ද, එක්තරා බඹලොවකට එළඹෙන්නෙමු”යි. මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් ඇස්වී ය.

මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ ද අභිගු මහණ තෙමේ ද යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළුෑඅතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම අරුණවතී රාජධානියෙන් අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.

මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක: බමුණ, බඹහට ද බඹපිරිසට ද අතැවැසි බඹුන්ට ද දැහැමි කථාවෙක් තොපට වැටහේවා”යි. මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස එසේ යයි භාග්‍යවත් අර්හත් සිඛි සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා බඹු ද බඹ පිරිස ද අතැවැසි බඹුන් ද දැහැමි කථායෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. උත්සාහවත් කරවී ය. සතුටු කරවී ය.

මහණෙනි, එහි දී බඹු ද බඹපිරිස ද අතැවැසි බඹහු ද “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයෙකි! පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකී. ශාස්තෲන් වහන්සේ ඉදිරියෙහි ඇති කල්හි කෙසේ නම් සව්වෙක් දහම් දෙසා දැ යි අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්.

මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක. බමුණ, බඹු ද බඹපිරිස ද අතැවැසි බඹහු ද “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. ශාස්තෲන් වහන්සේ ඉදිරියෙහි ඇති කල්හි කෙසේ නම් සව්වෙක් දහම් දෙසා දැ”යි තොපට අවමන් කෙරෙත්. බමුණ, එසේ වී නම් තෙපි බඹු ද බඹපිරිස ද අතැවැසි බඹුන් ද බොහෝ සෙයින් සංවෙගයට පමුණුවව්”යි.

මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා පෙණෙන කයින් යුක්තව ද දහම් දෙසී ය. නොපෙණෙන කයින් යුක්ත ව ද දහම් දෙසී ය. පෙණෙන යටඅඩකයින් යුක්තව ද නොපෙණන උඩ අඩකයින් යුක්තව ද දහම් දෙසී ය. පෙණෙන උඩ කයින් යුක්තව ද නොපෙණන යට අඩකයින් යුක්තව ද දහම් දෙසී ය.

මහණෙනි, එහි දී බඹු ද බඹපිරිස ද අතැවැසි බඹුහු ද මහණහුගේ මහත් ඍද්ධි ඇතිබව මහත් අනුභාව ඇති බව පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි”යි ආශ්චර්යාද්භූත සිත් ඇත්තෝ වූහ.

මහණෙනි, ඉක්බිති අභිගු මහණ තෙමේ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට වහන්ස, මම බික්සඟන මැද ඇවැත්නි, මම බඹලොව සිටියෙම් සහශ්‍රීලෝකධාතුව සරයෙන් හඟවන්නට (කටහඬ පතුර වන්නට සමත්මි”යි මෙබඳු වචනයක් කීයෙම් දනිම් ම යයි මෙය කී ය.

බමුණ, තෙපි යම් හෙයකින් බඹලොව සිටියාහු සහශ්‍රීලොකධාතුව සරයෙන් හඟවන්නහු නම් බමුණ, මෙයට කාලය යි. බමුණ, මෙයට කාලය යි.

මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා බඹලොව සිටියේ මේ ගාථා කී ය.

ආරම්භවීර්යය කරවු, නිෂ්ක්‍රමණවිර්යය කරවු, බුදුසසුනෙහි යෙදෙවු, ඇතෙක් බටදඬුයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසවු.

යමෙක් මේ සස්නෙහි අප්‍රමත්ත ව වෙසෙන්නේ ද (හෙ තෙමේ) ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.

මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ ද, අභිගු මහණ තෙමේ ද බඹුත් බඹපිරිසත් අතැවැසිබඹුනුත් සංවෙගයට පමුණුවා යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළුෑ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ඒ බඹලොව අතුරුදන් වූවාහු අරුණාවතී රාජධානියෙහි පහළ වූහ.

මහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි බඹලොව සිට අභිගු මහණ ගාථා කියද්දී නොඇසූහු ද? වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී අසූම්හ. මහණෙනි, තෙපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී ඒ කෙසේ නම් ඇසූහු ද? වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී මෙසේ ඇසූම්හ.

ආරම්භවීර්යය කරව්, නිෂ්ක්‍රමණවිර්යය කරව්, බුදුසසුන්හි යෙදෙව්. ඇතකු බටදඬුගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසව්.

යමෙක් මෙසස්නෙහි අප්‍රමත්තව වෙසෙන්නේ ද (හෙ තෙමේ) ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.

වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී මෙසේ අසූම්හ.

මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී ඇසූහු ය. මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව පිළිගත්හ.

 

සිව්වැනි වූ අරුණවති සූත්‍රය නිමියේ ය.