අක්කෝසක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

  1. අරහන්ත වර්ගය

 

7.1.2

 

අක්කෝසක සූත්‍රය

 

188. එකකලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. අක්කොසක භාරද්වාජබමුණු තෙමේ භාරද්වාජගෝත්‍රබමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සස්නෙහි පැවිදි වී යයි ඇසී ය. කිපියේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් ආක්‍රොශ කෙරෙයි. පරිභව කෙරෙයි.

මෙසේ ආක්‍රොශ පරිභව කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අක්කොසක භාරද්වාජබමුණාහට මෙය වදාළ සේක. බමුණ, ඒ කුමැයි හඟීහි ද? ආගන්තුක වූ තාගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ (තා නිවසට) පැමිණෙද්ද? භවත් ගෞතමයෙනි, ආගන්තුක වූ මාගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ ඇතැම් දිනෙක පැමිණෙති.

බමුණ, ඒ කුමැයි හඟිහි ද? ඔවුන්ට කෑයුත්තක් හෝ බුදියයුත්තක් හෝ රස විඳියයුත්තක් හෝ දෙන්නෙහි ද?

භවත් ගෞතමයෙනි, මම ඔවූන්ට කෑයුත්තක් හෝ බුදියයුත්තක් හෝ රස විඳියයුත්තක් හෝ ඇතැම් දිනෙක දෙමි.

බමුණ, ඉදින් ඔහු නො පිළිගණිත් නම් එය කාට වේ ද?

භවත් ගෞතමයෙනි ඉදින්, ඔහු නො පිළිගණිත් නම් එය අපට ම වෙයි.

බමුණ, එසෙයින් ම යම් හෙයෙකින් තෝ ආක්‍රෝශ නොකරණ අපට ආක්‍රෝශ කරෙහි ද? නොකිපෙන අපට කිපෙහි ද? භණ්ඩන නොනඟන අපට භණ්ඩන නඟහි ද? තාගේ ඒ අක්‍රොශාදිය අපි නො පිළිගණිමු. බමුණ තෙල තට ම වෙයි. බමුණ, යමෙක් අක්‍රොශ කරන්නහුට පෙරළා අක්‍රොශ කෙරේ ද, කිපෙන්නහුට පෙරළා කිපේ ද, භණ්ඩන නඟන්නහුට පෙරළා භණ්ඩන නඟා ද, බමුණ, මේ තෙමේ එකතු ව අනුභව කෙරේ. උනුනට සමවලා කරතියි කියනු ලැබේ. ඒ අපි තා සමග එකතුව නො වළඳමු. උනුනට සමවලා නොකරමු. බමුණ, තෙල තට ම වෙයි. බමුණ, තෙල තට ම වෙයි.

[බමුණු:]

රජු සහිත පිරිස මහණගොයුම්හු රහත්හ යි මෙසේ භවත් ගෞතමයන් දනී. එහෙත් භවත් ගොයුම්හු. කිපෙති.

[භගවත්හු:]

දැමුනු සමදිවි පැවතුම් ඇති මොනවට දැන මිදුනු සන්හුන් වූ තාදී ගුණ ඇති නොකිපෙන රහත්හට ක්‍රොධයෙක් කොයින් ද,

යමෙක් කිපුනහුට පෙරළා කිපේ ද, එයින් ඒ පුඟුලටාම පව වේ. කිපියහුට පෙරළා නොකිපෙන්නේ දිනීමට දුෂ්කර වූ (ක්‍රොධ) සඞ්ග්‍රාමය දිනයි.

යමෙක් මෙරමා කිපියහු දැන සිහි ඇතිව ඉවසා ද, (හෙ තෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙදෙනාට ම වැඩ සාදයි.

තමහට ද මෙරමාහට (යන) දෙදෙනාට ම පිළියම් කරනුවහු බාලයහ යි ධර්මයෙහි අදක්ෂ වූ ඒ ජනයෝ හඟිත්.

මෙසේ වදාළ කල්හි අක්කෝසභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. මේ මම භවත් ගෞතමයන් වහන්සේ ද, දහම ද බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම් වා. උපසපුව ලබම් වා. අක්කෝසකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි ද ලැබී ය. උපසපුව ලැබීය. උපසපන් නොබෝ කල් ඇති ආයුෂ්මත් අක්කෝසකභාරද්වාජ තෙමේ එකලාව ගණයා කෙරෙන් වෙන්ව නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවණෙහි මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් කුලපුත්‍රයෝ යමක් පිණිස මැනැවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට යෙත් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර වූ රහත් බව නොබෝකලෙකින් දුටුදැමියෙහි ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.

 

දෙවැනි වූ අක්කෝසක සූත්‍රය නිමියේ ය.