ධනඤ්ජානි සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

  1. අරහන්ත වර්ගය

 

7.1.1

 

ධනඤජණි සූත්‍රය

 

187. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාරද්වාජ ගෝත්‍රයෙහි උපන් එක්තරා බමුණකුගේ ධනඤ්ජානී නම් බැමිණිය බුදුන් කෙරෙහි ද දහම් කෙරෙහි ද සඟුන් කෙරෙහි ද බෙහෙවින් පහන් වූවා වෙ යි.

ඉක්බිති ධනඤ්ජානී බැමිණිය භාරද්වාජගෝත්‍රබමුණාට බත් එළවන්නී පැකිලී “ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා!” යි තෙවරක් උදන් ඇනී ය.

මෙසේ කී කල්හි භාරද්වාජගෝත්‍ර බමුණු ධනඤ්ජානී බැමිණියට මෙසේ ම මේ සැඩොලිය යම් ඒ තැනක දී හෝ යම් ඒ මුඩුමහණහුගේ ගුණ කියයි. සැඩොලිය, දැන් මම තිගේ ඒ ශාස්තෘහට වාද නගන්නෙමි යි මෙය කී ය.

බමුණ, යමෙක් භාග්‍යවත් අර්හත් ඒ සම්මාසම්බුදුරජානන් වහන්සේට වාද නගන්නේ නම් මම එබන්දකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි නො ම දකිමි. එහෙත් බමුණ තෙපි යවු. ගොස් දැනගන්නහු යයි.

ඉක්බිති භාරද්වාජගෝත්‍ර බමුණු කිපියේ නොසතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.

ගෞතමයෙනි, කුමක් නසා සුවසේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? කිනම් එක් දහමක් නැසීම රුස්නෙහි ද?

බමුණ, ක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරෙයි. විෂසඞ්ඛාත දුඃඛවිපාකයට මුල් වූ මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ආර්යයෝ පසසත්. ඒ ක්‍රෝධය නසා (සිටියේ) ශෝක නො කෙරේ මැයි.

මෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්‍රබමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වේ ද? වැසුනු දෙයක් වැසුම් හරින්නේ හෝ වේ ද? මං මුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද? ඇස් ඇත්තෝ රූප දක්නාහු යයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද? එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ ද, දහම ද, බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම්වා උපසපුව ලබම්වා යි.

භාරද්වාජගෝත්‍රබමුණා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ය, උපසපුව ලද්දේ ය. උපසපන් වූ නොබෝකල් ඇති ආයුෂ්මත් භාරද්වාජ තෙමේ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් යමක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නට පැමිණේද් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ අර්හත්වය නොබෝ කලෙකින් ම මේ අත්බැව්හි ම තෙමේ ම මැනවින් දැන සාක්ෂාත් කොට ඊට පැමිණ විසී ය. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. සිවුමග කටයුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකෙක් නැතැයි දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.

පලමුවැනි වූ ධනඤ්ජානි සූත්‍රය නිමියේ ය