බහුධීතු සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

1.අරහත්ත වර්ගය

 

7.1.10

 

බහුධීතු සූත්‍රය

 

 

 

196. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වසන සේක. එකල්හි එක්තරා භාරද්වාජ ගෝත්‍ර බමුණු කෙනකුගෙන් ගොන්හු තුදුස් දෙනෙක් නටුවාහු වෙත්, ඉක්බිති ඒ භාරද්වාජ ගෝත්‍ර බමුණු තෙමේ ඒ ගොණුන් සොයමින් ඒ වනලැහැබට පැමිණියේ ය. එළඹ ඒ වනලැහැබෙහි උඩු කය කෙලින් තබා (කමටහන්=) අභිමුඛ කොට සිහි එළවා පලක් බැඳ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.

(මාගේ) ගොන්හු තුදුස්දෙනෙක් අදට සදවසක් මුළුල්ලෙහි නො දක්නා ලැබෙත්. මේ මහණහු ඒකාන්තයෙන් (එබන්දෙක්) නැත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.

යම් හෙයකින් මේ මහණහට ලාමකවූ තල ද කොළ එකක් දෙකක් පමණ ඉතිරි වූ තල ද ඒකාන්තයෙන් නැත් ද, එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.

(මාගේ) හිස් වූ ධාන්‍යාගාරයෙහි මීයෝ අධිකෝත්සාහයෙන් නටත්. මේ මහණහට ඒකාන්තයෙන් (එබන්දෙක්) නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.

සත්මසක් පමණ වූ (මාගේ) තණ ඇතිරිය එහි ම හටගත් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේ ය. මේ මහණහට ඒකාන්තයෙන් (එබන්දෙක්) නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සැප ඇත්තෙකි.

එක පුතකු ඇත්තාවූ ද පුතුන් දෙදෙනකුන් ඇත්තාවූ ද, වැන්දඹු වූ දුහු සත් දෙනෙක් (මට මෙන්) මේ මහණහට ඒකාන්තයෙන් නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.

පිඟුවන් වූ තලකැලලින් ගැවසී ගත් සිරුර ඇති (මාගේ බැමිණි තොමෝ) නිදිගත් මා පයින් ගසා පුබුදුවයි. මේ මහණහට ඒකාන්තයෙන් එබන්දෙක් නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.

අලුයම්හි නය හිමියෝ දෙවු, දෙවු යයි මේ මහණහට (මට මෙන්) ඒකාන්තයෙන් චොදනා නො ම කෙරෙත්. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.

[භගවත්හු:]

බමුණ, (තාගේ) ගොන්හු තුදුස් දෙනෙක් අදට සදවසක් මුළුල්ලෙහි නො දක්නා ලැබෙත්. මට (එබන්දෙක්) නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.

බමුණ, කෙතෙහි ලාමක වූ තල ද එකක් දෙකක් කොළ ඉතිරි වූ තල ද මට නොම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.

බමුණ, (තාගේ) හිස් වූ ධාන්‍යාගාරයෙහි මීයෝ මහත් උත්සාහයෙන් නටත්. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.

බමුණ, සත්මසක් වූ (තාගේ) තණඇතිරිය එහි ම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේ ය. මට (එබන්දෙක්) නො ම ඇත්තේ ය. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.

බමුණ, එක් පුතකු ඇත්තාවූ ද, දෙපුතු කෙනකුන් ඇත්තාවූ ද වැන්දඹු වූ දූහු සත්දෙනෙක් (තට මෙන්) මට නොම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.

පිඟුවන් වූ තලකැලලින් ගැවසී ගත් සිරුරු ඇති (තාගේ බැමිණිය) නිදි ගත් තා පයින් ගසා පුබුදුවයි. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.

බමුණ, අලුයම නයහිමියෝ දෙවූ දෙවූ යයි (තට) චෝදනා කෙරෙත්. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.

මෙසේ වදාළ කල්හි භාරද්වාජගොත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දකින්නාහ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගොයුම්හු ද දහම ද බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම් වා. උපසපුව ලබම්වා යි.

භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබීය ය. උපසපුව ලැබීය. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ එකලාව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට යෙත් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර වූ රහත්බව නොබෝ කලෙකින් ම දුටුදැමියෙහි තමා විසින් ම විසිතුරු නුවණින් පසක් කොට එයට පැමිණ විසූහ. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.

 

දසවැනි වූ බහුධීතු සූත්‍රය නිමියේ ය.