සුන්දරික සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

1.අරහත්ත වර්ගය

 

7.1.9

සුන්දරික සූත්‍රය

 

 

 

195. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සුන්දරිකා ගංතෙර වැඩවසන සේක. එකල්හි සුන්දරිකභාරද්වාජ බමුණු සුන්දරිකා ගංතෙර ගිනි පුදයි. අග්නිහොමය කෙරෙයි. ඉක්බිති සුන්දරිකභාරද්වාජ බමුණු ගිනි පුදා අග්නිහොමය කොට හුනස්නෙන් නැගිට “කවරෙක් මේ යාගද්‍රව්‍යශේෂය වළදන්නේ වේ දැ”යි හාත්පස සිවුදිගුන් බැලී ය. සුන්දරිකභාරද්වාජ බමුණු එක්තරා රුක්මුලෙක හිස වටා පෙරෙවි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක වමතින් යාගද්‍රව්‍යශේෂය ගෙණ දකුණතින් කෙණ්ඩිය ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්දරිකභාරද්වාජ බමුණාගේ පියහඬින් හිස විවර කළ සේක.

ඉක්බිති සුන්දරිකභාරද්වාජ බමුණු මේ භවත් මුඩු වූවෙක. මේ භවත් මුණ්ඩකයෙකැ යි. එතැනින් ම පෙරළා යනු කැමැති විය. එකල්හි සුන්දරිකභාරද්වාජ බමුණාහට “මෙහි මුඩු වූ ද ඇතැම්හු බමුණු වෙති. මම ඔහු වෙත එළඹ ජාතිය විචාරන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඉක්බිති සුන්දරිකභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “භවත් කිනම් ජාති ඇත්තෙක් වේ දැ”යි තෙල කී ය.

[භගවත්හු:]

ජාතිය නහමක් විවාරව (ශීලාදි) චරණය ම විවාරව. කාෂ්ටයෙන් ඒකාන්තයෙන් ගිනි හටගණී. එමෙන් ම පහත් කුලයෙහි උපන්නේ ද, උසස්කුලයෙහි උපන්නේ ද, වීර්යවත් වූයේ කරුණු නො කරුණු දන්නේ ලජ්ජායෙන් පව් වළකා සිටියේ (ක්ෂීණාස්‍රව) මුනි වෙයි.

යමෙක් (පරමාර්ථ) සත්‍යයෙන් දැමුනේ ද, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත ද, චතුර්මාර්ග සඞ්ඛ්‍යාත වේදයෙහි පරතෙරට ගියේ ද, වැස නිම වූ බඹසර ඇත්තේ ද, යුතු කළ දන් ඇතියේ සුදුසු කල්හි ඔහු කැඳවන්නේ ය. හෙ තෙමේ (ඔහු කැඳවා දන් දෙන තැනැත්තේ) දක්ෂිණාර්භයා කෙරෙහි යාග කෙරෙයි.

[බමුණු:]

වෙදයෙහි පරතෙරට පැමිණි එබන්දකු යම් හෙයෙකින් දකිම් ද, මා විසින් ඒකාන්තයෙන් මෙය මොනවාට පුදන ලද්දේ වෙයි. මනා කොට (එහෙයින්) හෝම කරණ ලද්දේ වෙයි. මුබ වහන්සේ වැන්නවුන් නො දැක්මෙන් අන්දන හුතාවශේෂය වළඳයි.

භවත් ගෞතම තෙමේ වළඳාවා. භවත් තෙමේ බ්‍රාහ්මණයෙකි.

[භගවත්හු:]

බමුණ, මා විසින් ගාථාභිගීත පායාසය වැළඳීම නිසි නො වේ. ආජීවශුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නො වේ. බුදුවරයෝ ගාථාභිගීතය බැහැර කෙරෙත්. බමුණ, ආර්යධර්මය ඇතිකල්හි මේ පැවැත්ම යි.

සියලු ගුණයෙන් යුත් මහර්ෂී වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්‍ය අහාරයෙන් ද පානයෙන් ද උවටන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.

[බමුණු:]

භවත් ගෞතමයෙනි, එසේ නම් මම කවරකුට මේ හුතාවශේෂය දෙම් ද?

[භගවත්හු:]

බමුණ, තථාගතයන්ගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ පරිණාමය හැරපියා අන් යමකු විසින් මේ හුතාවශේෂය වළඳන ලද්දේ මැනවින් පැසීමට යන්නේ නම්, බමුණ, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන්සියෝ දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නො ම දකිමි. බමුණ, එසේ වී නම් තෙපි ඒ හුතාවශෙෂය තණ නැති බිමෙක හෝ දමව. පණුවන් නැති දියෙක හෝ පා කොට හරුව.

ඉක්බිති සුන්දරිකභාරද්වාජ බමුණු ඒ හුතාවශේෂය පණුවන් නැති දියෙහි පා කොට හැරියේ ය. එකල්හි ඒ හුතාවශේෂය දියෙහි බහා ලන ලද්දේ චිච්චිටි යන අනුකරණ ශබ්දය පවත්වයි. චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වයි. දුමයි. බෙහෙවින් දුමයි. යම්සේ දහවල් තැවුන හීවැල දියෙහි බහාලන ලද්දේ චිච්චිටි යන අනුකරණශබ්දය පවත්වා ද, චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වා ද, දුමා ද, බෙහෙවින් දුමා ද, එසෙයින් ම ඒ හුතාවශේෂය දියෙහි බහා ලන ලද්දේ චිච්චිටි යන අනුකරණ ශබ්දය පවත්වයි. චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වයි. දුමයි. බෙහෙවින් දුමයි. ඉක්බිති සුන්දරිකභාරද්වාජ බමුණු තෙමේ සංවේගයට පැමිණියේ හටගත් ලොමුදහගැනුම් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සුන්දරිකභාරද්වාජ බමුණාට භාග්‍යවතුන් වහන්සේ ගාථායෙන් වදාළ සේක:

බමුණ, දර දවමින් ශුද්ධියක් නහමක් හඟුව. යම් හෙයෙකින් මේ දර දැවීම ආර්යධර්මයෙන් බැහැර ද (එහෙයිනි). බාහිර වූ දර දැවීමෙකින් පිරිසිදුබව යමෙක් කැමැති වන්නේ නම් ඒ දර දැවීමෙන් පිරිසිදු බවක් දක්ෂ වූ ආර්යයෝ නොම කියත්.

බමුණ, මම දර දැවීම අත්හැර ස්වසන්තානයෙහි ම ඥානාග්නිය දල්වමි. අර්හත් වූ මම නිති (දැල් වූ) ගිනි ඇත්තෙම් නිති සංයතසිත් ඇත්තෙම් බඹසර කෙරෙමි.

බමුණ, තාගේ මානය තවුස්පිරිකරබර වේ. ක්‍රෝධය දුම වේ. මුසා බිණීම හලු වේ. දිව හැන්ද ය. හෘදය ගිනි දැල්වෙන තැන ය. පුරුෂයාගේ මොනවාට දැමුණ සිත ගින්න වේ.

වේදයෙහි පරතෙරට ගිය ආර්යයෝ යම් තැනෙක ස්නානය කළාහු නොතෙත් සිරුරු ඇත්තෝ නිවන් නමැති පරතෙරට ඒකාන්තයෙන් යෙද්ද, බමුණ, ධර්මය තෙමේ සිල් නමැති තොටු ඇති වෙසෙසින් පහන් වූ උතුම් සත්පුරුෂයන් විසින් පසස්නා ලද (එබඳු) ජලාසයෙකි.

බමුණ, වාක්සත්‍යය ද, (දිට්ඨි, සඞ්කප්ප, වායාම, සති, සමාධි සඞ්ඛ්‍යාත) ධර්ම ද, (කම්මන්ත ආජීව සඞ්ඛ්‍යාත) සංයමය ද (යන මේ) බඹසර නම් වේ. මැද ඇසුරු කළා ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති ය යි. ඒ (තෙපි) සෘජු වූ රහතුන්ට නමස්කාර කරව. මම ඒ මිනිසා දහම්හි හැසිරෙන්නෙකැ යි කියමි.

මෙසේ වදාළ කල්හි සුන්දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ

 

නවවැනි වූ සුන්දරික සූත්‍රය නිමියේ ය.