උදය සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

2.උපාසක වර්ගය

 

7.2.2

 

උදය සූත්‍රය

 

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එකල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාලීය. දෙවන දිනෙහි දූ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. දෙවන දිනෙහි දු උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාලීය. තෙවන දිනෙහි දු භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. තෙවන දිනෙහි දු උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාවා භාග්‍යවතුන් වහන්සේට “රසයෙහි ගිජු වූ මේ මහණ ගොයුම් තෙමේ පුනපුනා ඒ ය”යි මෙය කීය.

[භගවත්හු:]

(ගොවියෝ) පුනපුනා බිජුවට වපුරත් ම ය. වැස්ස පුනපුනා වසී. ගොවියෝ පුනපුනා කෙත සාත්. ධාන්‍ය පුනපුනා රටට පැමිණේ.

යදියෝ පුනපුනා ඉල්ලත්. දානපතීහු දන් දේත්. දානපතීහු පුනපුනා දන් දී පුනපුනා ස්වර්ගස්ථානයට පැමිණෙත්.

කිරී දොවන්නෝ පුනපුනා දොවත්. වස්සා මව කරා පුනපුනා එළඹේ. (සත්ව තෙමේ) පුනපුනා ක්ලාන්ත ද, කම්පිත ද වෙයි. බාල තෙමේ පුනපුනා ගැබට පැමිණේ.

පුනපුනා උපදියි. මියෙයි. පුනපුනා සොහොනට ගෙණ යෙත්. නුවණැත්තේ නිවණ ලැබ පුනපුනා නූපදී.

මෙසේ වදාළ කල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.

 

දෙවැනි වූ උදය සූත්‍රය නිමියේ ය.‍