කසී සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

2.උපාසක වර්ගය

 

7.2.1

කසී සූත්‍රය

 

 

 

197. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වෙහි දකුණුගිරියෙහි ඒකනාළා නම් බමුණුගම්හි වැඩ වසන සේක. එකල්හි කසීභාරද්වාජ බමුණා විසින් වපුරණ කාලයෙහි පන්සියක් පමණ නගුල්හු යොදන ලද්දාහු වෙති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කසිභාරද්වාජ බමුණාගේ කර්මාන්තස්ථානය වෙත එළඹිසේක. එකල්හි කසිභාරද්වාජ බමුණාගේ බොජුන් දීම පවතී. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොජුන් දෙන තැනට එළඹි සේක. එළඹ එකත්පසෙක වැඩසිටි සේක.

කසිභාරද්වාජ බමුණු තෙමේ පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දැක්කේය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. මහණ, මම වනාහි සෑම ද කරමි. වැපිරීම ද කරමි. සෑම ද කොට වැපිරීම ද කොට වළඳමි. මහණ, තෙපි ද සෑම ද කරව. වැපිරීම ද කරව. සෑම ද කොට වැපිරීම ද කොට වළඳව.

[භගවත්හු:]

බමුණ, මමත් සෑම ද කරමි. වැපිරීම ද කරමි. සෑම ද කොට වැපිරීම ද කොට වළඳමි.

[බමුණු:]

අපි භවත් ගොයුම්හුගේ වියදණ්ඩ හෝ නඟුල හෝ හීවැල හෝ කෙවිට හෝ ගොනුන් හෝ නො ම දකුම්හ. එහෙත් භවත් ගොයුම් තෙමේ “බමුණ, මමත් සෑම ද කරමි. වැපිරීම ද කරමි. සෑම ද කොට වැපිරීම ද කොට වළඳමි” යි මෙසේ කියයි.

ඉක්බිති කසිභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:

ගොවියකැ යි පිළින කෙරෙහි. මුබගේ සීසෑමක් නොම දකිමි. ගොවියෙක් දැ යි (අප විසින්) විචාරණ ලද (මොබ) කියනු මැනව. ඒ සීසෑම කෙරේ දනුමෝ ද?

[භගවත්හු:]

සැදැහැ බිජුවට ය. තපස වැස්ස ය. නුවණ මාගේ වියදණ්ඩ හා නඟුලය. ලජ්ජාව නඟුලිසය. සිත යොත ය. සිහිය මාගේ හීවැල හා කෙවිට ය.

කායසුචරිතයෙන් ගෝපිත වූයෙම් වාක්සුචරිතයෙන් ගෝපිත වූයෙම් අහාරයෙහි ද උදරයෙහි ද සංයත වූයෙම් සත්‍යයෙන් නෙළීම කරමි. අර්හත්ඵල විමුක්තිය මාගේ මිදීම යි.

ධුර ඉසිලීමෙහි සමත් වූ මාගේ ඒ වීර්යය යම් තැනකට ගොස් ශෝක නො කෙරේ නම් ඒ නිවණට අභිමුඛ කොට පමුණුවනු ලබන්නේ නො නවතිමින් යෙයි.

මෙසේ මේ හීය සාන ලදී. ඒ හීය අමාපල ඇති වෙයි. මේ හීය සා සියලු දුකින් මිදෙයි.

[බමුණු:]

භවත් ගොයුම් තෙමේ වළඳාවා. යම් හෙයෙකින් භවත් ගොයුම් තෙමේ අමාපල ඇති හීයත් සා ද, එහෙයින් භවත් තෙමේ ගොවියෙකි.

[භගවත්හු:]

බමුණ, මා විසින් ගාථාභිගීත අහාරය වැළදීම නිසි නොවේ. ආජීවසුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නො වේ. බුදුවරයෝ ගාථාභිගීත බොජුන් බැහැර කෙරෙත්. බමුණ, ආර්යධර්මය ඇති කල්හි මේ පැවැත්ම යි.

සියලු ගුණයෙන් යුත් මහර්ෂි වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්‍ය වූ අහාරයෙන් ද පානයෙන් ද උවටැන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.

මෙසේ වදාළ කල්හි කසිභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියා දෙන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගොයුම්හු ද දහම ද බික්සඟණ ද සරණ යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.

 

පලමුවෙනි කසී සූත්‍රය නිමියේ ය.