ඛේමදුස්ස සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

2.උපාසක වර්ගය

 

7.2.1‍2

 

 

ඛේමදුස්ස සූත්‍රය

 

 

208. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාඛය ජනපදයෙහි ශාක්‍යයන්ගේ ඛොමදුස්‌ස නම් නියම්ගම්හි වැඩවසන සේක, එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ඛොමදුස්‌ස නියම්ගමට පිඬු පිණිස පිවිසි සේක.

එකල, ඛොමදුස්‌ස නියම්ගම්වැසි බමුණුගැහැවියෝ කිසියම් කටයුත්තක් සඳහා සභායෙහි රැස්වූවාහු වෙති. වැස්ස ද එකිඑකි පොද හෙළයි.

එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ සභාව වෙත එළඹි සේක. ඛොමදුස්‌සක බමුණුගැහැවියෝ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුහ. දැක නින්දිත මුඩුමහණහු කවරහු ද, කවර කෙනෙක් සභාධර්මය දන්නාහු දැ යි මෙය කීහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඛොමදුස්‌සක බමුණුගැහැවියන්ට ගාථායෙන් වදාළ සේක:

යම් තැනෙක සත්පුරුෂයෝ නැද් ද, තෙල සභායෙක් නොවේ. යම් කෙනෙක් ධර්මය නො කියද් ද, ඔහු සත්පුරුෂ නොවෙති. රාගය ද, ද්වේෂය ද, මෝහය ද දූරු කොට ධර්මය දේශනා කරන්නෝ ම සත්පුරුෂ වෙති.

මෙසේ වදාළ කල්හි ඛොමදුස්‌සක බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මඟ කියා දෙන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහයි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියරින් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේ ය. මේ අපි භවත් ගොයුම්හු ද, දහම ද, බික්සඟන ද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය අප උපාසකයන් කොට දරණ සේක්වා යි.

 

දොළොස්වැනි වූ ඛේමදුස්ස සූත්‍රය නිමියේ ය.