භික්ඛක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

2.උපාසක වර්ගය

 

7.2.10

 

 

භික්ඛක සූත්‍රය

206. සැවැත්නුවර -

එකල්හි භික්ඛක බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් භික්ඛක බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. භවත් ගෞතමයෙනි, මමත් භික්ෂකයෙක්මි. භවත් තෙමේත් භික්ෂකයෙකි. මෙහි ලා අප දෙදෙනාගේ කිනම් වෙනසෙක් ද?

[භාගවතුහු:]

මෙරමා සිඟා යන මෙතෙක් වේ ද, එපමණෙකින් භික්ෂකයෙක් නො වේ. දුර්ගන්ධය වූ අකුශලධර්මය සමාදන් ව (සිටියේ) ඒ තාක් භික්ෂු නම් නො වේ.

මේ සස්නෙහි යමෙක් පිණ ද පව ද බැහැර කොට වුසු බඹසර ඇත්තේ නුවණින් දැන ලොව්හි හැසිරේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් භික්ෂු යයි කියනු ලැබේ.

මෙසේ වදාළ කල්හි භික්ෂක බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.

 

දසවැනි වූ භික්ඛක සූත්‍රය නිමියේ ය.