මහාසාළ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

2.උපාසක වර්ගය

 

7.2.4

 

මහාසාළ සූත්‍රය

 

 

200. සැවැත්නුවර -

ඉක්බිති ජරාවට පත් වූ දිරා ගිය වස්ත්‍ර ඇති එක්තරා බමුණුමහසළෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හිඳගත්තේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසළුව භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: බමුණ, කුමක්හෙයින් තෝ ජරාවට පත්වූයෙහි දිරා ගිය වස්ත්‍ර ඇත්තෙහි ද?

[බමුණු:]

භවත් ගෞතමයෙනි, මෙහි මාගේ පුත්තු සතර දෙනෙකි. ඔහු අඹුවන් හා සාකච්ඡා කොට මා ගෙයින් නෙරති යි.

[භගවත්හු:]

බමුණ, එසේ වී නම් තෝ මේ ගාථා ඉගෙණ සභාවක මහජනසමූහයා රැස්වූ කල්හි පුතුන් ද හිඳගත් කල්හි කියව:

(මට දාව) උපන්නා වූ යම් කෙනෙකුන් කරණ කොට ගෙණ සතුටු වූයෙම් ද, යම් කෙනකුන්ගේ අභිවෘද්ධිය පැතුයෙම් ද, ඔහු අඹුවන් හා සකච්ඡා කොට ගෙණ බල්ලෝ හූරකු (වළකන්නාක්) මෙන් මා වළකති.

අසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ පුත්‍රයන් මෙන් (පෙණී සිටිමින්) මට පියානෙනි පියානෙනි යි කියත්. ඔහු ඉක්ම ගිය වයස් ඇති මා දුරු කෙරෙත්.

පරිභෝගයට නුසුදුසු වූ ජරපත් අසකු මෙන් දිරා ගියා වූ පරිභෝග ධනය නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා කෑමෙන් පහ කරණු ලැබේ. (එහෙයින් හෙ තෙමේ) පරගෙවල සිඟයි.

මාගේ යම් ඒ පුත්‍රයෝ නොකීකරු ද, (ඔවුන්ට වඩා) මට මේ සැරයටිය ම ශ්‍රේෂ්ඨ ය. (මේ සැරයටිය) සැඬගොණුකුදු වළකයි. වැලි සැඬබල්ලකුත් (වළකයි.)

අඳුරෙහි පෙරටු වෙයි. ගැඹුරෙහි (ගැඹුරුදියෙහි) පිහිට ලබයි. පැකිලී දණ්ඩෙහි අනුභාවයෙන් නැවත පිහිටා සිටියි. (එහෙයිනි.)

ඉක්බිති ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා ඉගෙණ සභාවෙහි මහාජනයා රැස් වූ කල්හි පුතුන් ද හිඳගත් කල්හි කී ය.

(මට දා ව) උපන්නාවූ යම් කෙනකුන් කරණ කොට ගෙණ සතුටු වූයෙම් ද, යම් කෙනෙකුන් ගේ අභිවෘද්ධිය පතූයෙම් ද, ඔහු ද අඹුවන් හා සාකච්ඡා කොට ගෙණ බල්ලෝ හූරකු (වළකන්නාක්) මෙන් මා වළකති.

අසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ පුත්‍රයන් මෙන් (පෙණී සිටිමින්) මට පියානෙනි, පියානෙනි යි කියත්. ඔහු ඉක්ම ගිය වයස් ඇති මා දුර කෙරෙත්.

පරිභෝගයට නුසුදුසු වූ ජරපත් අසකු මෙන් දිරා ගියා වූ පරිභෝග ධනය නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා කෑමෙන් පහ කරණු ලැබේ. (එහෙයින් හෙ තෙමේ) පරගෙහි සිඟයි.

මාගේ යම් ඒ පුත්‍රයෝ නොකීකරු ද, (ඔවුන්ට වඩා) මට මේ සැරයටිය ම ශ්‍රේෂ්ඨ ය, (මේ සැරයටිය) සැඬගොණුකුදු වළකයි. වැලි සැඬබල්ලකුත් (වළකයි.)

අඳුරෙහි පෙරටු වෙයි. ගැඹුරෙහි පිහිට ලබයි. පැකිලී දණ්ඩෙහි අනුභාවයෙන් නැවත පිහිටා සිටියි. (එහෙයිනි.)

ඉක්බිති පුත්‍රයෝ ඒ බමුණු මහසල්හු ගෙට පමුණුවා නාවා වෙන වෙන වස්ත්‍රයුග්මයෙන් පිදූහ. එකල ඒ බමුණු මහසල් තෙමේ එක් වස්ත්‍රයුග්මයන් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය:

භවත් ගෞතමයෙනි, අපි බමුණෝ වෙමු. ඇදුරහුට ඇදුරුධනය සොයම්හ. මාගේ ඇදුරු වූ භවත් ගෞතමයන් වහන්සේ ඇදුරුධනය පිළිගන්නා සේක්වා. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා පිළිගෙණ වදාළ සේක.

ඉක්බිති ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් දිවි යෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.

 

 

සිව්වැනි වූ මහාසාළ සූත්‍රය නිමියේ ය.