මානත්ථද්ධ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

2.උපාසක වර්ගය

 

7.2.5

 

මානත්ථද්ධ සූත්‍රය

 

 

201. සැවැත්නුවර -

එකල්හි මානත්ථද්ධ නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. හෙතෙමේ මව නො ම වඳී. පියා නො ම වඳී. ඇදුරහු නො ම වඳී. දෙටු බෑයා නො ම වඳී.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිස විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක. ඉක්බිති මානත්ථද්ධ බමුණාට මේ මහණගොයුම් තෙමේ මහත් පිරිස විසින් පිරිවරණ ලදු ව දහම් දෙසයි. මම මහණගොයුම් වෙත එළඹෙන්නෙම් නම් මැනව. ඉදින් මහණගොයුම් තෙමේ මට කථා කරන්නේ නම් මමත් ඔහුට කථා කරන්නෙමි. ඉදින් මහණගොයුම් තෙමේ මට කථා නො කරන්නේ නම් මමත් කථා නො කරන්නෙමි.

ඉක්බිති මානත්ථද්ධ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුට කථා නොකළ සේක. ඉක්බිති මානත්ථද්ධ බමුණු තෙමේ මේ මහණගොයුම් තෙමේ කිසිත් නො දනීයයි එතැනින් ම නැවත පෙරළා එනු කැමැත්තේ වි ය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් මානත්ථද්ධ බමුණාගේ චිත්තපරිවිතර්කය දැන මානත්ථද්ධ බමුණාට ගාථායෙන් වදාළ සේක:

බමුණ, මෙහි ප්‍රයෝජනයක් අපේක්ෂා කරනහුට මානය වැඩීම නො මැනවි. යම් ප්‍රයෝජනයක් හේතු කොට ගෙණ පැමිණියේ නම් එය ම සිදුකර ගන්නේ ය.

ඉක්බිති මානත්ථද්ධ බමුණු තෙමේ මහණගොයුම් තෙමේ මාගේ සිත දනී යයි එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹී. අතින් ද පිරිමදී. “භවත් ගෞතමයෙනි, මම මානත්ථද්ධ යෙමි. භවත් ගෞතමයෙනි, මම මානත්ථද්ධ යෙමි” යි නම ද අස්වයි.

ඉක්බිති ඒ පිරිස “පින්වත්නි, ආශ්චර්ය්‍යයෙකි. පින්වත්නි අද්භූතයෙකි. මේ මානත්ථද්ධ බමුණු තෙමේ මව නො ම වඳී. පියා නො ම වඳී. ඇදුරහු නො ම වඳී. දෙටුබෑයා නො ම වඳී. එහෙත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙබඳු ඉතා ම යටත් පැවතුම් ඇති බවක් කෙරේ ය යී අද්භූත සිත් ඇති වූවා ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මානත්ථද්ධ බමුණාට මෙය වදාළ සේක: බමුණ, පමණි. නැගිටුව. සිය අසුනෙහි හිඳ ගණුව. යම් හෙයකින් තාගේ සිත මා කෙරෙහි පහන් ද, (එහෙයිනි).

ඉක්බිති මානත්ථද්ධ බමුණු තෙමේ සිය අසුනෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කී ය:

කවර කෙනෙකුන් කෙරෙහි මානය නො කරන්නේ කවරකෙනකුන් කෙරෙහි ගෞරව සහිත වන්නේ ද? ඔහු විසින් කවර කෙනෙක් අපචිති කටයුත්තෝ වන්නාහු ද? ඔහු විසින් කවර කෙනෙක් මැනවින් පිදියයුත්තෝ වන්නාහු ද?

[භගවත්හු:]

මව කෙරෙහි ද, පියා කෙරෙහි ද, වැලි දෙටුබෑයා කරෙහි ද, සිවුවැනි ව ඇදුරා කෙරෙහි දැ යි යන මොවුන් කෙරෙහි මානය නො කරන්නේ ය. මොවුන් කෙරෙහි ගෞරව සහිත වන්නේ ය. ඔහු විසින් මොහු අපචිති කටයුත්තෝ වන්නාහ. ඔහු විසින් මොහු මැනවින් පිදියයුත්තෝ වන්නාහ.

සිහිල් වූ කළකිස ඇති ආස්‍රව රහිත වූ නිරුත්තර වූ ඒ රහතුන් (මානයෙන්) තද නො වී මානය නසා වඳුව.

මෙසේ වදාළ කල්හි මානත්ථද්ධ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවියෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.

 

පස්වැනි වූ මානත්ථද්ධ සූත්‍රය නිමියේ ය.