ආළවිකා සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්
__________________

5. භික්ඛුනී සංයුත්තයේ

______________________

1.භික්ඛුනී වර්ගය

5.1.1

ආළවිකා සූත්‍රය

162. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.එකල්හි ආළවිකා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් පිණ්ඩපාතයෙන් වලකුනී විවේකය කැමැත්තී අන්ධවනය වෙත එළඹියා ය.එකල පවිටු මරු ආළවිකා මෙහෙණට බිය තැති ගැණුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරණු කැමැත්තේ ආළවිකා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ආළවිකා මෙහෙණට ගාථායෙන් කී ය: 

ලොව නිවණෙක් නැත. විවේකයෙන් කුමක් කරන්නෙහි ද, කාමරතීන් විඳුව, නහමක් පසුතැවිලි වව.

ඉක්බිති ආළවිකා මෙහෙණහට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ” යි මේ අදහස විය. ඉක්බිති ආළවිකා මෙහෙණහට ”මේ පවිටු මාර තෙමේ මට බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ අදහස විය. එකල්හි ආළවිකා මෙහෙණ මෙ පවිටු මරු යයි දැන පවිටු මරුට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:

ලොව නිවණෙක් ඇත. මා විසින් (පස්විකන) නුවණින් දන්නා ලදී. පවිටු මරුව, තෝ ඒ නිවන්පදය නොදනිහි.

කාමයෝ අඩයටි හුල් වැන්නහ. ස්කන්ධයෝ මොවුන්ට මස්ලොඹු වැන්නහ. තෝ යම් කාමරතියක් කියහි ද, එය මට අරතියෙක් වි ය.

ඉක්බිති පවිටු මරු ආළවිකා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.

පළමුවැනි වූ ආළවිකා සූත්‍රය නිමියේ ය.