උපචාලා සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්
__________________

5. භික්ඛුනී සංයුත්තයේ

______________________

1.භික්ඛුනී වර්ගය

5.1.7

උපචාලා සූත්‍රය

168. සැවැත්නුවර -

එකල්හි උපචාලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුන. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී අන්ධවනය වෙත දිවාවිහරණය පිණිස එළඹිනී ය. අන්ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.

ඉක්බිති පවිටු මරු උපචාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ උපචාලා මෙහෙණහට -

මෙහෙණ, තො කොහි උපදිනු කැමැත්තිහි දැ යි මෙය කී ය.

[උපචාලාවෝ:]

ඇවැත්නි, මම කොහිදු උපදිනු නො කැමැත්තෙමි යි.

[මරු:]

තව්තිසා දෙවියෝ ය, යාම දෙවියෝ ය, තුෂිත දෙවියෝ ය, නිර්මාණරතී දෙවියෝ ය, යම් වශවර්තිති දෙවි කෙනෙක් වෙත් නම් ඔහු ය යන මොවුන් කෙරෙහි සිත පිහිටුව, පඤ්චකාමරතිය විඳුනෙහි ය.

තව්තිසා දෙවියෝ ය, යාම දෙවියෝ ය, තුෂිත දෙවියෝ ය, නිර්මාණරතී දෙවියෝ ය, යම් වශවර්තිති දෙවි කෙනෙක් වෙත් නම් ඔහු ය යන ඒ සියල්ලෝ පඤ්චකාමබන්ධනයෙන් බැඳුනාහු නැවත මාර වශයට පැමිණෙත්.

මුළුලොව ඇවිළින මුළුලොව නැවීන. මුළුලොව දිලිසින, මුළුලොව වෙසෙසින් සැලින.

යමෙක් අකම්පිතව ද, අචලිත ද, පුහුදුන් විසින් නො සෙවුනා ලද ද, යම් තැනෙක මරුට පිහිටෙක් නැද්ද, එහි (නිවණෙහි) මාගේ සිත ඇලුනේ ය.

ඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදන් වි ය.

සත්වැනි උපචාලා සූත්‍රය නිමියේ ය.