උප්පලවණ්ණා සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්
__________________

5. භික්ඛුනී සංයුත්තයේ

______________________

1.භික්ඛුනී වර්ගය

5.1.5

උප්පලවණ්ණා සූත්‍රය

166. සැවැත්නුවර -

එකල්හි උප්පලවණ්ණා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනයට එළඹුන. අන්ධවනයට පිවිස එක්තරා සුපිපි සල්රුකක්මුල සිටියා. ඉක්බිති පවිටු මාර තෙමේ උප්පලවණ්ණා මෙහෙණට බිය තැතිගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ උප්පලවණ්ණා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ උප්පලවණ්ණා මෙහෙණට ගාථායෙන් කීය:

මෙහෙණ, තො අග පටන් සුපිපි සල්රුකක් වෙත එළඹ ඒ සල්රුක මුල එකලා ව සිටිහි. තිගේ පැහැසටහන් සා දෙවන පැහැසටහනෙක් ද නැත. මෙහි පැමිණි අන්හු ද තොප වැන්නාහුය. (තොපසෙයින් සසඟ හා සෙනෙහස නැතියහ) බාලාවෙනි. තෝ සලෙලුනට නො බහි ද?

ඉක්බිති උප්පලවණ්ණා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ යි” මේ සිත විය. එකල්හි උප්පලවණ්ණා මෙහෙණහට ”මේ පවිටු මරු ය. මට බිය තැතිගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ අදහස විය. එකල්හි උප්පලවණ්ණා මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:

තා වැනි ධුර්තයන් සියදහස්හු මෙහි පැමිණියාහු වෙත් ද, ලොමයකුත් නොසලමි. නො ම තැති ගනිමි. මාරය, එකලා වූ ද මම තට නො බමි.

තෙල මම අතුරුදන් වෙමි. තොප කුසට හෝ පිවිසෙමි. දෙඇස අතුරෙහි නැහැවසටෙහි සිටුනා ද මා නො දකිහි.

සිතෙහි ලා වශී වෙමි. ඍද්ධිපාදයෝ මැනවින් වඩනා ලදහ. සියලු බැම්මෙන් මිදුනිම් වෙමි ඇවැත, මම තට නො බමි.

එකල්හි පවිටු මාරු තෙමේ උප්පලවණ්ණා මෙහෙණ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.

පස්වැනි උප්පලවණ්ණා සූත්‍රය නිමියේ ය.