සූත්රාන්තපිටකයෙහි,
සංයුත්ත නිකායේ,
ප්රථම භාගයේ
සගාථවර්ගයට අයත්
__________________
5. භික්ඛුනී සංයුත්තයේ
______________________
1.භික්ඛුනී වර්ගය
5.1.10
වජිරා සූත්රය
171. සැවැත්නුවර -
එකල්හි වජිරා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුනා හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුනා ය. අන්ධවනයට පිවිස එක්තරා රුක් මුලෙක දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු වජිරා මෙහෙණට බිය තැති ගැණුම් ලොමු දහ ගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ වජිරා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ වජිරා මෙහෙණට ගාථායෙන් කී ය:
මේ සත්වයා කවරකු විසින් කරණ ලද්දේ ද? මේ සත්වයා කළ තැනැත්තා කොහි ද? මේ සත්වයා කොහි හටගත්තේ ද? මේ සත්වයා කොහි නිරුද්ධ වේ ද?
ඉක්බිති වජිරා මෙහෙණහට “මේ කවරෙක් දෝ" මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ මේ ගාථාව කියා දැ’යි මේ අදහස විය. එකල්හි වජිරා මෙහෙණට ‘මේ පවිටු මරු ය. මට බිය තැති ගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා’යි මේ සිත විය. ඉක්බිති වජිරා මෙහෙණ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන් ගෙන් පෙරළා කිවු ය:
මරුව, කිම සත්වයෙකැ යි අදහන්නේහි ද? තාගේ මාරදූෂ්ටියෙක් නො වේ ද? මේ හුදු සංස්කාර පිණ්ඩයෙකි. මෙහි සතෙක් නො ලැබේ.
අවයව සමූහය හේතු කොට ගෙණ යම්සේ රථය යන ශබ්දයෙක් වේ ද? එසේ ම පඤ්චස්කන්ධයන් ඇති කල්හි සත්වයා ය යන ලොකව්යවහාරය වේ.
දුක ම ලැබේ. දුක ම පවතී. දුක ම විඳී. දුක හැර අනිකෙක් නො ලැබේ. දුක හැර අනිකෙක් නිරුද්ධ නො වේ.
ඉක්බිති පවිටු මාරයා වජිරා මෙහෙණ මා දනී ය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.
දසවැනි වූ වජිරා සූත්රය නිමියේ ය