විජයා සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්
__________________

5. භික්ඛුනී සංයුත්තයේ

______________________

1.භික්ඛුනී වර්ගය

5.1.4

විජයා සූත්‍රය.

165. සැවැත්නුවර -

එකල්හි විජයා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙ ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුනු. අන්ධවනයට පිවිස එක්තරා රුකක්මුල දිවාවිහරණය පිණිස හුන.

ඉක්බිති පවිටු මරු විජයා මෙහෙණට බිය තැතිගැණුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ විජයා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ විජයා මෙහෙණට ගාථායෙන් කී ය:

අරිදුවනියෙනි, තෙපි සුරූපී ලදැරියහු. මම ද යොව්නෙහි සිටුනා ලදරුයෙමි. එව පසඟතුරුයෙන් අභිරමණය කරමු.

එකල විජයා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නො මිනිසෙක් හෝ ගාථාව කියා දැ යි” මේ අදහස විය. ඉක්බිති විජයා මෙහෙණහට ”මේ පවිටු මරු ය. මට බිය තැතිගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ සිත විය. එකල විජයා මෙහෙණ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:

මරුව, සිත්කලු රූපයෝ ද ශබ්ධයෝ ද, ගන්ධයෝ ද රසයෝ ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද (වෙත් නම් ඒ සියල්ල) තට ම දක්වා දෙමි. මම එයින් වැඩ ඇතියකිම් නො වෙමි.

බිඳෙනසුලු වැනසෙනසුලු මේ කුණුකයින් පීඩිත වෙමි. ලජ්ජිතයෙමි. කාමතෘෂ්ණාව (මා විසින්) නසන ලද්දී ය.

රූපභවයට (උත්පත්ති වශයෙන්) එළඹ යම් සත්ව කෙනෙක් වෙද් ද, අරූපභවයෙහි සිටුනා යම් සත්ව කෙනෙකුත් වෙද් ද, යම් ශාන්ත වූ ලෞකික සමාපත්තියෙකුත් වේ ද, ඒ සියල්ලෙහි (මුළාබව නමැති) අඳුර (මා විසින්) නසන ලදී.

එකල්හි පවිටු මාරු විජයා මෙහෙණ මා දනිති යි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.

සිව්වැනි විජයා සූත්‍රය නිමියේ ය.