සෝමා සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්
__________________

5. භික්ඛුනී සංයුත්තයේ

______________________

1.භික්ඛුනී වර්ගය

5.1.2

සෝමා සූත්‍රය

163. සැවැත්නුවර -

එකල්හි සෝමා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුනී ය. අන්ධවනයට පිවිසි එක්තරා ගසක්මුල දිවාවිහරණය පිණිස හුන.

ඉක්බිති පවිටු මරු සෝමා මෙහෙණට බිය තැතිගැණුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් තොර කරණු කැමැත්තේ සොමා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සොමා මෙහෙණට ගාථායෙන් කී ය:

ඉසිවරුන් විසින් ලැබියයුතු දුලබ වූ යම් ඒ පදවියෙක් වේ ද, එය දැඟුල්නුවණ ඇති ස්ත්‍රිය විසින් නොලැබිය හැක්ක.

ඉක්බිති සෝමා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. එකල්හි සෝමා මෙහෙණහට ”මේ පවිටු මරු ය. මට බිය තැතිගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යී මේ අදහස විය.

සිත මැනවින් සමාධිගත වූ කල්හි නුවණ පවත්නා කල්හි මනා කොට දහම දක්නහුට ඉතිරිබව කුමක් කරන්නේ ද? මම ස්ත්‍රියක් මු යි හෝ පුරුෂයෙක් මියි හෝ අන් කිසිවෙකිම් වෙමි යි හෝ යමකුට මෙසේ අදහස් වන්නේ නම් මාර තෙමේ ඔහුට කියන්නට සුදුසු වෙයි.

ඉක්බිති පවිටු මාර තෙමේ සෝමා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.

දෙවැනි සෝමා සූත්‍රය නිමියේ ය.