තපොකම්ම සුත්‍රය

තපොකම්ම සූත්‍රය.

 

137. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤජරා තෙරැ අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙන් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට “ඒ දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මිදුනෙම් වෙමි. ඒ නොවැඩ ඇසුරු කළ දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මැනවින් මිදුනෙම් වෙමි. ස්ථීර ව එළඹසිටි සිහි ඇත්තෙම් මැනවින් සත්‍යාවබෝධය කෙළෙමි”යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.

ඉක්බිති පවිටු මරු තෙමේ තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තවිතර්‍කය දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

යම් තපසෙකින් මනුෂ්‍යයෝ පිරිසිදු වෙද්ද, ඒ තපස්කර්‍මයෙන් ඉවත් ව අශුද්ධ වූයේ ම ශුද්ධිමාර්‍ගය වැරදවූයේ ශුද්ධි යයි හඟිහි ද,

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථාවලින් පෙරළා වදාළ සේක:

අමර නම් වූ යම්කිසි තපසෙක් වේ ද, (ඒ සියල්ල) අනත්ථසංහිත යයි දැන (අත්හළෙමි.) ඒ සියල්ල වැඩ සිදුකරන්නේ නො වේ. (කෙසේ ද? යත්:) මරුකතරෙහි රිටිපලුපත් මෙනි. (මරුකතරෙහි වූ නැවක් රිටිපලුපත් ගෙණ පදවන්නට නො හැක්කාක් මෙනි.)

ශීලය ද සමාධිය ද ප්‍රඥාව ද යන ආර්‍ය්‍යමාර්‍ගය සත්‍යාවබෝධය පිණිස වඩමින් පරමශුද්ධියට පැමිණියෙම් වෙමි. මාරය, තෝ නටුයෙහි.

ඉක්බිති පවිටු මරු තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.

පලමුවෙනි තපෝකම්ම සූත්‍රය නිමියේ ය.