දුතියආයුසූත්‍රය

4.1.10

දුතිය ආයු සූත්‍රය

146. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ ස්වල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය. උපන්නහුට නො මැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කල් ජීවත් වේ ද, හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වෙයි.

එකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:

රෑ දහවල් ඉක්ම නො යෙත්. ජීවිතය නිරුද්ධ නොවේ. මිනිසුන්ගේ ආයුෂ (ඔවුන්) අනුව ම යේ. රියෙහි කිඹුල්මුව අනුව යන රියනිම්වලල්ල මෙනි.

[භගවතුන් වහන්සේ:]

රෑ දහවල් ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂය ගෙවේ. කුඩා නදීන්ගේ දිය මෙනි.

ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීයි දුකට පත්වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.

                                                             දසවැනි වූ දුතිය ආයු සූත්‍රය නිමියේ ය.