දුතියපාස සූත්‍රය

4. 1. 5

දුතියපාස සූත්‍රය. 

141. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු “පින්වතුන් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, දෙවියන් පිළිබඳ වූ යම් බන්ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් වෙද්ද (ඒ) සියලු බන්ධනයන් ගෙන් මම මිදුනෙම් වෙමි. මහණෙනි, තෙපි දු දෙවියන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් වෙත් නම් (ඒ) සියලු බන්ධනයන් ගෙන් මිදුනහු ය. මහණෙනි, බොහෝ දනහට හිත පිණිස, බොහෝ දනහට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස චාරිකායෙහි හැසිරෙව. එක් ම‍‍ඟෙකින් දෙදෙනෙක් නො යව. මහණෙනි, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ ව්‍යඤජනයෙන් පිරිපුන් දහම් දෙසව. කේවල පරිපූර්‍ණ පිරිසුදු මගබඹසර හෙළි කොට දක්වව. පැණැසෙහි ස්වල්ප වූ කෙලෙස්රජස් ඇති සත්ත්ව‍යෝ ඇත. ධර්‍මය නොඇසීමෙන් (ඔහු) පිරිහෙත්. ධර්‍මය අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි, මම ද දහම් දෙසනු පිණිස උරුවෙල්දනව්වෙහි සේනානි නියම්ගමට එළඹෙන්නෙමි.

ඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.

දෙවියන් පිළිබඳ යම් පාසයෝත් මිනිසුන් පිළිබඳ යම් පාසයෝත් වෙත් නම් ඒ සියලු පාසයන් ගෙන් බැඳුනෙහි. මහකෙලෙස්බැම්මෙන් බඳනා ලද්දෙහි. මහණ, මා කෙරෙන් නො මිදෙන්නෙහි ය.

[භගවතුන් වහන්සේ]:

දෙවියන් පිළිබඳ යම් පාසයෝත් මිනිසුන් පිළිබඳ යම් පාසයෝත් වෙත් නම් ඒ සියලු පාසයන්ගෙන් මම මිදුනෙම් වෙමි. මහාක්ලේශබන්ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව, තෝ නටුයෙහි.

ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.

පස්වැනි වූ දුතිය පාස සූත්‍රය නිමියේ ය