පඨමආයුසූත්‍රය

4. 1. 9

පඨම ආයුසූත්‍රය.

145. මා විසින් මෙසේ අසන ලදී: එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේලළුවනාරාමයෙහි වැඩවසන සේක එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂය අල්පය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය, උපන්නහුට නොමැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වෙයි.

එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

මිනිසුන්ගේ ආයුෂ දිග ය. සත්පුරුෂ තෙමේ එය හෙලා නො දක්නේ ය. තනපා මතුයෙන් වැටෙන (ස්තනන්ධය) ලදරුවකු මෙන් හැසිරෙන්නේ ය. මරණයාගේ ඊමෙක් නැත.

[භගවතුන් වහන්සේ]

මිනිසුන්ගේ ආයුෂය අල්ප ය. සත්පුරුෂ තෙමේ එය හෙලා දක්නේ ය. හිස ගිනි ගත්තකු මෙන් හැසිරෙන්නේ ය. මරණයාගේ නොඊමෙක් නැත.

ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

නමවැනි වූ පඨම ආයූ සූත්‍රය නිමියේ ය