පඨමපාස සූත්‍රය

4. 1. 4

පඨමපාස සූත්‍රය 

140. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, මා විසින් නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන්වීර්‍ය්‍යය කිරීමෙන් නිරුත්තර විමුක්තිය ලබන ලදු, නිරුත්තර විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරණ ලදු. මහණෙනි, තෙපි දු නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන්වීර්‍ය්‍යය වැඩීමෙන් නිරුත්තර විමුක්තියට පැමිණෙව. නිරුත්තර විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරව.

එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

මාරපාශයෙන් බඳනා ලද්දෙහි: දිව්‍ය වූ යම් බන්ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් වෙද්ද, (ඒ සියලු) මාරබන්ධනයෙන් බැඳුනෙහි. මහණ, මා කෙරෙන් නො මිදෙන්නෙහි ය.

[භගවතුන් වහන්සේ:]

මාරබන්ධනයෙන් මිදුනෙම් වෙමි. දෙවියන් පිළිබඳ වූ යම් බන්ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් වෙද්ද, (ඒ සියලු) මාර බන්ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව තෝ නටුයෙහි.

ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

සිව්වැනි වූ පඨම පාස සූත්‍රය නිමියේ ය.