සප්ප සූත්‍රය

4. 1.6

සප්ප සූත්‍රය. 

142. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකිඑකී පොද හෙළයි.

එකල පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට බිය තැතිගැන්ම ලොමුදහගැන්ම උපදවනු කැමැත්තේ මහත් නාරජවෙසක් මවාගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ සිරුර එක්රුක්නෙන් මැවූ මහ ඔරුවක් බඳු වෙයි. ඔහුගේ පෙණය රා කරුවන්ගේ රා පෙරණ මහත් මටුලුකස්සක් බඳු වෙයි. ඔහුගේ ඇස් කොසොල්රජුගේ මහත් කස්තලියක් (භුඤජනපාතියක්) බඳු වෙයි. මේඝය ගිගිරි කරණ කල යම්සේ විදුලිය නික්මේ ද, එපරිද්දෙන් ඔහුගේ මුවෙන් දිව නික්මෙයි. කඹුරුසම වයින් පුරණ කල්හි ශබ්දය යම්සේ ද, ඔහුගේ ආශ්වාසප්‍රශ්වාස ශබ්දය ද එබඳු වෙයි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:

යමෙක් ශයනය පිණිස ශූන්‍යාගාරයන් සෙවුනේ ද, ඒ බුද්ධමුනි තෙමේ සංයත වූ ආත්මභාව ඇත්තේ වේ. හෙ තෙමේ ඒ ආත්මභාවයෙහි (ආලය) හැරපියා හැසිරෙන්නේ ය. එය එබඳු බුද්ධමුනිහට සුදුසු මැයි.

(සිංහව්‍යාඝ්‍රාදි) බිහිසුනු ජංගම සත්තු ද බොහෝහ. බිහිසුනු ස්ථාවර අරමුණු ද බොහෝහ. වැලි ඩැහැ ලේ බොන මැස්සෝ ද සර්‍පයෝ ද බොහෝහ. ශුන්‍යාගාරයට වන් සර්‍වඥමුනි තෙමේ ඒ අරමුණු නිමිති කොට ලෝම මාත්‍රයකුදු කම්පන නො කරන්නේ ය.

අහස පැළෙන්නේ නම්, පොළොව සැලෙන්නේ නම්, වැලිත් සියලු සත්තු තැතිගන්නාහු නම්, ඉදින් ලෙහි තියුණු හුල් ගසන්නාහු නම්, බුදුවරයෝ උපධීන් කෙරෙහි පරිත්‍රාණයක් නො කෙරෙති.

එකල්හි පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

සවැනි වූ සප්ප සූත්‍රය නිමියේ ය