මාරධීතු සූත්‍රය

4. 3. 5

මාරධීතු සූත්‍රය.

 

161. උරුවේලාවෙහි—

ඉක්බිති තණ්හා අරති රගා ද යන මාර කන්‍යාවෝ පවිටු මරු වෙත එළඹියහ. එළඹ පවිටු මරුහට ගාථායෙන් කියුහු:

පියාණෙනි, කවරහෙයින් නොසතුටු සිත් ඇත්තෙහි ද? කිනම් පුරුෂයකු සිතයි ද? අපි ඔහු වනඇතකු මෙන් රාගපාශයෙන් බැඳ ගෙණ එන්නමු. එවිට තොපට වසඟ වන්නේ යයි.

[මරු:]

සුගත තෙමේ ලෝකයෙහි අර්‍හත් ය. රාගයෙන් (බැඳ) සුවසේ ගෙණ ඉය නොහැක්කේ ය. මාරවිෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි.

ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙවර කරමෝව”යි මෙය කියූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නොකෙරේ ද එසෙයින් එද නො මෙනෙහි කළ සේක.

ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසෙකට ඉවත් ව පුරුෂයන්ගේ අදහස් විසිතුරු ය. (එහෙයින්) අපි සියක් සියක් කොට කුමරිවෙස් සියක් මවා ගන්නමෝ නම් යෙහෙකැයි මෙසේ සිතූහ.

ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ (එකක් එකක්) සියක් සියක් කොට කුමරිවෙස් සියක් (තුන්සියක් විලස්) මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙ කරමෝ ව”යි මෙය කියූහ. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.

ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසකට ඉවත් ව පුරුෂයන්ගේ අදහස් විසිතුරුය. අපි සියක් සියක් නොවැදූ ඉතිරින් වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි මෙසේ සිතූහ.

ඉක්බිති තණ්හා අරති රගාද යන මරදූහු එක්සිය එක්සිය නොවැදු ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබගේ පා හමුයෙහි මෙහෙවර කරමෝ ව”යි මෙය කියූහ. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.

ඉක්බිති තණ්හා ... අපි සියක් සියක් කොට එක්වර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි සිතූහ.

ඉක්බිති තණ්හා ... එක්වර වැදූ ඉතිරින් වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත ... යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.

ඉක්බිති තණ්හා ... අපි ... දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.

ඉක්බිති තණ්හා ... දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත ... යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.

ඉක්බිති තණ්හා ... අපි ... මැදුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි

ඉක්බිති තණ්හා ... මැදුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත ... යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.

ඉක්බිති තණ්හා ... අපි ... වයසින් වැඩුනු ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනැවැයි.

ඉක්බිති තණ්හා ... වයසින් වැඩුනු ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත ... යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.

ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසකට ඉවත්ව මෙසේ කියූහ. අපගේ පිය තෙමේ සැබැවක් කීයේ ම ය.

“සුගත තෙමේ ලෝකයෙහි අර්‍හත් ය. රාගයෙන් බැඳ නොගෙණිය හැක්කේ ය. මාර විෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි”යි.

අපි පහ නොවූ රාග ඇති යම් මහණකු හෝ බමුණකු හෝ වෙත මේ උපක්‍රමයෙන් එළඹෙන්නමෝ නම් ඔහුගේ ලය හෝ පැළෙන්නේ ය. මුවෙන් උණුලේ හෝ නැගෙන්නේය. උමතුවට හෝ සිත් පෙරළියට හෝ පැමිණෙන්නේ ය. සිඳින ලද නිල්වන් බටගසෙක් යම්සේ වියළේ ද, වෙසෙසින් වියළේ ද, මැලවේ ද, එසෙයින් ම වියළෙන්නේය වෙසෙසින් වියළෙන්නේය මැලවෙන්නේය යි.

ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටි තණ්හා මර දූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කිවුය:

ශෝකයට බටුයෙහි ද? වෙනෙහි සිතිවිලි සිතහි ද? වස්තුවක් පැරදුනෙහි ද? වැලි පතමින් (හිඳහි ද?) ගම්හි කිසියම් අපරාධයක් කෙළෙහි ද? කුමක් හෙයින් මහජනයා සමග මිත්‍රභාවය නොකෙරෙහි ද? කිසිවකු හා මුබගේ මිත්‍රභාවයෙක් නොසැපයේ ද?

[භාග්‍යවතුන් වහන්සේ:]

මම ප්‍රියස්වරූප සාතස්වරූප ඇති ක්ලේශසෙනාව දිනා හුදෙකලාව ධ්‍යාන කෙරෙමින් අභිමතාර්ථයාගේ පැමිණීම් වූ ද, හෘදයශාන්තිය වූ ද රහත්ඵල සුවය අවබොධ කෙළෙමි. එබැවින් මහාජනයා සමග මිත්‍රත්වය නො කරමි. කිසිවකු හා මාගේ මිත්‍රත්වයෙක් නො සැපයේ.

ඉක්බිති අරති මරදූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කිවුය.

මෙසස්නෙහි කෙබඳු විහරණයක් බහුල කොට ඇති මහණ තෙම තරණය කළ පඤචද්වාරික ක්ලේශඕඝ ඇත්තේ (මනොද්වාරික වූ) සවන ක්ලේශඕඝය තරණය කෙළේ ද? කාමසංඥාවෝ කෙබඳු ධ්‍යානයක් බහුල කොට ඇත්තා වූ ඔහු නොලබා හාත්පසින් බැහැර වෙද් ද?

[භාග්‍යවතුන් වහන්සේ:]

සන්හුන් කය ඇති මොනොවට මිදුනු සිත් ඇති කර්‍ම රැස් නොකරණ සිහි ඇති ආලය නැති (රහත් තෙමේ) දහම් දැන විතර්‍ක රහිත ධ්‍යානයෙහි යෙදුනේ නො කිපෙයි. (රාග වශයෙන්) සිහි නොකෙරෙයි. (මොහ වශයෙන්) හැකුලුනේ නොවෙයි

මෙහි එබඳු විහරණ බහුල කොට ඇති මහණ තෙමේ තරණය කළ පඤචද්වාරික ක්ලේශඕඝ ඇත්තේ මේ ලෝකයෙහි (මනොද්වාරික වූ) සවන ක්ලේශඕඝය තරණය කළේ ය. කාම සංඥාවෝ මෙසේ ධ්‍යාන බහුල කොට ඇති ඔහු නොලැබ හාත්පසින් බැහැර වෙත්.

ඉක්බිති රගා මර දූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කිවුය.

ගණයා කෙරෙහිත් සමූහයා කෙරෙහිත් හැසිරෙණ මේ ශාස්තෘ තෙමේ තෘෂ්ණාව සින්දේ ය. බොහෝ සත්ත්වයෝ ද එකතින් තෘෂ්ණාව සිඳින්නාහ. ආලය නැති මේ ශාස්තෘ තෙමේ බොහෝ ජන සමූහයක් මාරයා අතින් පැහැර ගෙණ පරතෙරට පමුණුවන්නේ ය.

[භාග්‍යවතුන් වහන්සේ:]

මහාවීර වූ තථාගතවරයෝ සද්ධර්‍මයෙන් සත්ත්වයන් එතෙර කෙරෙත්. නුවණැතියන් ධර්‍මයෙන් එතෙර කරණ කල්හි කවර ඊර්ෂ්‍යායෙක් ද?

ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු කෘෂණ මාරයා වෙත එළඹියහ. කෘෂණ මාර තෙමේ දුරදී ම එන්නා වූ තණ්හාව හා අරතිය හා රගා ද යන මරදූන් දැක්කේ ය. දැක ගාථාවන්ගෙන් කී ය.

බල්දරුයෙනි, හෙළඋපුල්දඬුයෙන් පර්‍වතයක් අළලවු ද? මහගලක් නියෙන් කණිවු ද? දතින් යකඩ කවු ද?

මහගලක් හිසමතුයෙහි තබා ගෙණ ගැඹුරෙහි පිහිටක් සොයවු ද? ලයෙහි හුලක් හැනගෙන මෙන් ගෞතමයන් කෙරෙන් කළකිරී පහ ව අවු ය?

[තෙරහු:]

තණ්හා අරති රගා ද යන මරදූහු අතිශයින් දිලිසෙමින් ආවාහු ය. එහි දී ශාස්තෲන් වහන්සේ ඔවුන් නෙරු සේක. කෙසේ ද යත්: වාතය තෙමේ ගිළිහුනු පිලිනක් නෙරන්නාක් සෙයිනි.

පස්වැනි වූ මාරධීතු සුත්‍රය නිමියේ ය.