සම්බහුල සූත්‍රය

4. 3. 1

 සම්බහුල සූත්‍රය. 

157. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි සිලාවති ගම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙත්.

එකල්හි පවිටු මාර තෙමේ බමුණු වෙසක් මවා ගෙණ මහත් දළසුඹුළුයෙන් යුක්ත ව හැඳි පෙරෙවි අඳුන්දිවිසම් ඇතියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු හඬින් ප්‍රශ්වාස කරණසුලු වූයේ දිඹුල්දඬක් අතින් ගෙණ ඒ භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්ෂූන්ට “භවත් පැවිද්දෝ දහරයහ. මනා අභිනීල කෙහෙ ඇතිය හ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කම්කෙළියෙහි කෙළුම් නොකළසුල්ලහ. භවත්හු මිනිස් කම්සුව විඳිත්වා. මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු වූ සුව කරා නුදුවත් වා” යි කී.

බමුණ, අපි මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු සුව කරා නොදුවමු. බමුණ, අපි කල් ගෙවා වින්ද යුතු සුව හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි දොස් බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි තමන් විසින් ම වින්ද යුතු ය. කල්නොයවා විපාක දෙන සුලුය. එව බලව යි කීමට සුදුසු ය. තමසිත්හි පමුණුවා ලීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතුය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.

මෙසේ කී කල්හි පවිටු මාර තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නළලෙහි තුන් රැළි ඇති බැමබිදුම් නංවා දණ්ඩ එල්බ ගෙණ ගියේ ය.

ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි අපි භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වෙසෙමු. වහන්ස, එකල්හි එක්තරා බමුණෙක් මහත් දළසුඹුළුයෙකින් යුක්තව අඳුන් දිවිසම් හැඳ පෙරෙවියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු යන හඬින් ප්‍රශ්වාස කරණ සුලු වූයේ දිඹුල් දණ්ඩක් අතින් ගෙණ අප වෙත එළඹියේ ය. එළඹ අපට මෙය කී ය.

“භවත් පැවිද්දෝ දහරයහ. කළුකෙහෙ ඇතියහ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කාමයෙහි ක්‍රීඩා නොකළහ. භවත්හු මිනිස් කම්සුව විඳිත් වා. මේ අත්බැව්හි වින්ද යුතු සුවය හැර කලෙකින් ලැබෙන සුවය කරා නො දුවත්වා”යි. වහන්ස, මෙසේ කී කල්හි ඒ බමුණාට අපි මෙය කීමු. “බමුණ, අපි මේ අත්බැව්හි වින්දයුතු සුව හැර කල් ගෙවා ලැබෙන සුව කරා නො දුවමු. බමුණ, අපි කල්ගෙවා ලැබෙන සුව අත් හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනව බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි තමා විසින් ම වින්ද යුතුය. කල් නොයවා විපාක දෙන සුලු ය. එව, බලවයි කීමට සුදුසු ය. තම සිත්හි පමුණුවා ලීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය”යි. වහන්ස, මෙසේ කී කල්හි ඒ බමුණු තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නලළෙහි තුන්රැළි ඇති බැමබිඳුම් නංවා දණ්ඩ එල්බ ගෙණ ගියේ ය.

මහණෙනි, මේ බමුණෙක් නො වේ. මේ පවිටු මරු ය. තොපගේ නුවණැස වනසාලීම පිණිස පැමිණියේ ය යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාව වදාළ සේක.

යමෙක් දුක යම් පඤචකාම ගුණයක් නිදාන කොට ඇතැයි දුටුයේ ද, ඒ සත්ත්ව තෙමේ කාමයන්හි කෙසේ නැමෙන්නේ ද, (නො නැමේ මැ යි) ඒ සත්ත්ව තෙමේ ලෙව්හි කාමගුණොපධිය (රාගාදි) සඞගය යි දැන ඒ කාමගුණොපධිය ම දුරලනු පිණිස හික්මෙන්නේ ය.

පලමුවෙනි සම්බහුල සූත්‍රය නිමියේ ය.