සමිද්ධි සූත්‍රය

4. 3. 2

 සමිද්ධි සූත්‍රය.

 

158. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි සිලාවති ගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙති.

ඉක්බිති එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. ඒ මාගේ ශාසතෘ තෙමේ අර්‍හත් ය. සම්‍යක් සම්බුද්ධ ය. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූයෙමි. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මට සිල්වත් කලණ දහම් ඇති සබ්‍රම්සරහු වෙති. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි.

ඉක්බිති පවිටු මාර තෙමේ (තම) සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ගේ චිත්තපරිවිතර්‍කය දැන ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් නුදුරෙහි මහත් බිය ජනන හඬක් කෙළේ ය. තවද එය පොළොව පෙරළන්නාක් සෙයින් වෙයි.

ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමි. වහන්ස, එකලා වූ චිත්තවිවේකයෙන් හුන් ඒ මට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. ඒ මාගේ ශාස්තෘ තෙමේ අර්‍හත් ය. සම්‍යක් සම්බුද්ධ ය. එය මට ඒකාන්තයෙන් මහත් ලාභයෙකි. ඒකාන්තයෙන් මනා ලැබීමෙකි. ඒ මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූයෙමි. එය මට ඒකාන්තයෙන් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මට සිල්වත් කලණ දහම් ඇති සබ්‍රම්සරහු වෙති. එය මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. වහන්ස, ඒ මාගේ නුදුරෙහි පොළොව පෙරළන්නාක් සෙයින් බිය ජනන හ‍‍‍ඬෙක් විය.

[භාග්‍යවතුන් වහන්සේ:]

සමිද්ධි, මේ පොළොව නො පෙරෙළෙයි. මේ පවිටු මරු ය. තොපගේ නුවණැස වනසා ලන්නට පැමිණියේ ය. සමිද්ධි, තෙපි යව. නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව එහි ම වසව.

වහන්ස, එසේ ය යි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ: දෙවනවට දු අයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව එහි ම විසූහ. දෙවනවට දු එකලා ව චිත්තවිවේකයෙන් හුන් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. ... ඒ මට සිල්වත් කලණදහම් ඇති සබ්‍රම්සරහු වෙති. එය මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මට මනා ලැබීමෙකි. දෙවනවට දු පවිටු මාර තෙමේ (තම) සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ගේ චිත්තපරිවිතර්‍කය දැන ... තවද, පොළොව පෙරළන්නාක් සෙයිනි.

ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථායෙන් කීහ.

මම සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි විමි. මා විසින් සිහිය හා නුවණ අවබෝධ කරණ ලදී. සිත ද මොනොවට පිහිටුවන ලද්දේ ය. (එහෙයින් බිහිසුණු) රූපයන් කැමති පරිද්දෙන් කරව. මා නොම පෙළන්නෙහි ය.

ඉක්බිති පවිටු මරු තෙමේ සමිද්ධි මහණ තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහිම අතුරුදන් විය.

දෙවෙනි වූ සමිද්ධි සූත්‍රය නිමියේ ය.