ආයතන සූත්‍රය

4. 2. 7

 ආයතන සූත්‍රය

153. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ෂට්ස්පර්‍ශායතනයන් පිළිබඳ දැහැමි කතාවෙන් භික්ෂූන් කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. හිත හර්‍ෂ ගන්වන සේක. ඒ මහණහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.

එකල පවිටු මරුහට මේ අදහස විය: “මේ මහණගොයුම් ෂට් ස්පර්‍ශායතනයන් පිළිබඳ දැහැමි කතාවෙන් භික්ෂූන්ට කරුණු දක්වයි. සමාදන් කරවයි. උත්සාහවත් කරයි. හර්‍ෂ ගන්වයි. ඒ මහණහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්. පැණැස වනසන්නට මහණගොයුම් වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි”

ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහත් බියජනක හඬක් කෙළේ ය. පොළොව පෙරළන්නාක් සෙයිනි.

ඉක්බිති එක්තරා මහණෙක් එක්තරා මහණකුට “මහණ, මහණ, මේ පොළොව ('පටත් පටත්' යන අනුකරණ දෙමින්) පෙරෙළෙන්නාක් මෙනැයි මෙය කී ය.

මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණ හට මහණ, මේ පොළොව පෙරෙළෙන්නේ නොවේ. මේ පවිටු මරු ය. තොපගේ පැණැස වනසන්නට ආයේ යයි මෙය වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:

සියලු රූපයෝ ද ශබ්දයෝ ද රසයෝ ද ගන්ධයෝ ද ස්පර්‍ශයෝ ද ධර්‍මයෝ ද යන මෙය දරුණු ලෝකාමිෂය වේ. ලෝ වැස්සා මෙහි දැඩි ලෙස ඇලුනේ ය.

බුදුරජානන් වහන්සේගේ සිහි ඇති ශ්‍රාවක තෙමේ මේ ෂඩායතන ද ඉක්මවා මරුට ස්ථාන වූ භවත්‍රය ද පසු කොට හිරු මෙන් බබලයි.

ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී. සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

සත්වැනි වූ ආයතන සූත්‍රය නිමියේ ය.