කස්සක සූත්‍රය

4. 2. 9

 කස්සක සූත්‍රය.

155. සැවැත්නුවර—

එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සිත හර්‍ෂ ගන්වන සේක. ඒ භික්ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.

එකල්හි පවිටු මරුහට මේ අදහස විය. “මේ මහණ ගොයුම් නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්ෂූන් තෙද ගන්වයි, සිත හර්‍ෂ ගන්වයි ඒ භික්ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු  බණ අසත්. (බණ අසන්නවුන්ගේ)  පැණැස වනසන්නට මහණ ගොයුම් වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි!

ඉක්බිති පවිටු මාර තෙමේ ගොවිවෙසක් මවා ගෙණ මහ නඟුලක් කර තබාගෙණ දික් කෙවිටි ලීයක් ගෙණ හෘතාහෘත කෙශ (ඔබමොබ විසිර ගිය කෙහෙ) ඇත්තේ හණ වතක් ඇඳ ගත්තේ මඩ වැකුණු පයින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ශ්‍රමණය, ගොණුන් දැක්කෙහි ද?

පවිට, තට ගොණුන්ගෙන් කවර වැඩෙක් ද?

ශ්‍රමණය, ඇස මාගේ ම ය. රූප මාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතන ය ද මාගේ ම ය. ශ්‍රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද? ශ්‍රමණය, කණ මාගේ ම ය. ශබ්දයෝ මාගේ ම ය. සොතසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, නැහැය මාගේ ම ය, ගන්ධයෝ මාගේ ම ය, ඝාණසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, දිව මාගේ ම ය. රස මාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, සිත මාගේ ම ය, දහම් මාගේ ම ය, මනොසම්ඵස්ස හා විඤඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කොහි ගොස් මාකෙ‍රෙන් මිදෙන්නෙහි ද?

පවිට, ඇස තාගේ ම ය, රූප තාගේ ම ය, චක්ඛුසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. එවිට, යම් තැනෙක ඇස නැද් ද, රූප නැද්ද, චක්ඛුසම්ඵස්ස හා විඤඤාණායතනය නැද්ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.

කණ තාගේ මය, ශබ්ද තාගේ ම ය, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණයතනය තාගේ ම ය. පවිට, යම්තැනෙක කණ නැද් ද, ශබ්ද නැද් ද, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.

පවිට, නැහැය තාගේ ම ය, ගන්ධයෝ තාගේ ම ය, ඝාණසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය පවිට, යම් තැනෙක නැහැය නැද්ද ඝාණසම්ඵස්ස හා විඤ්ඤාණායතනය නැද්ද එවිට  එහි පවිට තාගේ ගමනෙක් නැත.

පවිට, දිව තාගේ ම ය, රස තාගේ ම ය, ජිව්හාසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය පවිට, යම් තැනෙක නැහැය නැද්ද ජිව්හාසම්ඵස්ස හා විඤ්ඤාණායතනය නැද්ද එවිට  එහි පවිට තාගේ ගමනෙක් නැත..

පවිට, කය තාගේ ම ය, ස්ප්‍රෂ්ටව්‍යය තාගේ මය, කායසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය පවිට, යම් තැනෙක නැහැය නැද්ද කායසම්ඵස්ස හා විඤ්ඤාණායතනය නැද්ද එවිට  එහි පවිට තාගේ ගමනෙක් නැත..

පවිට, සිත තාගේ ම ය, දහම් තාගේ ම ය, මනොසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. පවිට, යම් තැනෙක සිත නැද් ද, දහම් නැද් ද, මනොසම්ඵස්ස හා විඤ්ඤාණායතනයත් නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.

[මරු:]

මේ මාගේ ය යි යමක් කියද් ද, යම් කෙනෙක් මා ගැත්තේ ය යි කියද්ද, ඉදින් එහි ලා මුබගේ සිතෙක් ඇත් නම් ශ්‍රමණය, මා කෙරෙන් නොමිදෙන්නෙහි ය.

[භාග්‍යවතුන් වහන්සේ:]

(මාගේ ය යි) යමක් කියද් ද, එය මාගේ නොවෙයි. යම් කෙනෙක් මා ගැත්තේ ය යි කියද් ද, මම 'ඔහු'ද නොවෙමි. පවිට, මෙසේ දනුව. මා ගිය මඟත් නොදන්නෙහි ය.

ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී. සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

නව වැනි වූ කස්සක සූත්‍රය නිමියේ ය.