පත්ත සූත්‍රය

4. 2. 6

පත්ත සූත්‍රය.

 

152. සැවැත් නුවර —

එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්ධ පස පිළිබඳ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. සමාදානයෙහි උත්සාහවත් කරණ සේක. හිත හර්‍ෂ ගන්වන සේක. ඒ භික්ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුලු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇති ව බණ අසත්.

එකල්හි පවිටු මරුහට මේ අදහස වි ය මේ මහණ ගොයුම් උපාදානස්කන්ධ පස පිළිබඳ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සිත හර්‍ෂ ගන්වයි. ඒ භික්ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුලු හිතින් සමනා ගෙණ යොමු කළ කන් ඇති ව බණ අසත්. (බණ අසන්නවුන්ගේ) පැණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි!

එකල්හි බොහෝ පාත්‍රයෝ එළියෙහි බහන ලද්දාහු වෙත්. එකල්හි පවිටු මාර තෙමේ ගොන් වෙසක් මවා ගෙණ ඒ පාත්‍රයන් වෙත එළඹියේ ය. එකල්හි එක්තරා මහණෙක් එක්තරා මහණකුට “මහණ, මහණ, මේ ගොණා පාත්‍රයන් බිඳුනේ ය”යි මෙය කී ය.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ එ මහණහට “මහණ, හේ ගොණෙක් නො වේ. මේ පවිටු මරු ය. තොපගේ පැණැස වනසන්නට පැමිණියේ ය”යි මෙය වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:

රූපය හා වේදනාව හා සංඥාව හා විඥානය හා යම් සංස්කාරධර්‍මයෙක් වේ නම් එය හා මේ පස්කඳ මම නො වෙමි. තෙල මා ගැත්තේ නොවේ යයි මෙසේ එහි නො ඇලේ.

මෙසේ නො ඇලුනු ක්ෂේමප්‍රාප්ත අත්බැව් ඇති සියලු බවබැඳුම් ඉක්මවා සිටි රහත්හු කොහිදැයි සියලු තන්හි සොයන මරපිරිස් ද නො දැක්කේ ය.

ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී. සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

සවැනි වූ පත්ත සූත්‍රය නිමියේ ය.