පාසාණ සූත්‍රය

4. 2. 1

පාඝාණ සූත්‍රය. 

147. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පවුවෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරුයෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකි එකි පොද හෙළයි.

එකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය තැතිගැණුම ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි මහත් මහත් ගල් විහිටි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යී දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක:

ඉදින් මේ මුළු ගිජුකුළුපවුව ම සලනෙහි නම්, මොනොවට මිදුනු බුදුවරයන්ට කම්පනයෙක් නහමක් ඇත් මැ ය.

ඉක්බිති පවිටු මාරයා භාග්‍යවත් තෙමේ මා දනී. සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය. 

පලමු වැනි වූ පාසාණ සූත්‍රය නිමියේ ය.