රජ්ජ සූත්‍රය

4. 2. 10

රජ්ජ සූත්‍රය.

156. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙසෙහි වන කිළියෙක වැඩ වසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවෙකයෙහි යෙදුනු භාග්‍යවතුන් වහන්සේට “නො නස්මින් නො නස්වමින් පරස්වහරණය (ධනහානිය) නො කරමින්-නොකරවමින් ශෝක නො කරමින් නොකරවමින් දැහැමින් රජය කරවන්නට හැක්කේ දෝ”යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.

ඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත්හි පරිවිතර්‍කය දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: වහන්ස, භගවත් තෙමේ නො නසමින් නො නස්වමින් ධනහානි නො කරමින්-නො කරවමින් ශොක නො කරමින් ශොක නො කරවමින් දැහැමින් රජය කෙරේවා. සුගත තෙමේ රජය කෙරේවා යි.

[භාග්‍යවතුන් වහන්සේ:]

පවිට, “වහන්ස, භගවත් තෙමේ නො නස්මින් නො නස්වමින් ධනහානි නො කරමින් නො කරවමින් ශොක නො කරමින් නො කරවමින් දැහැමින් රජය කෙරේවා, සුගත තෙමේ රජය කෙරේවා”යි යම්හෙයෙකින් තෝ මට මෙසේ කියහි ද, තෝ කුමක් දකිහි ද?

[මරු:]

වහන්ස, භගවත්හු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහ. බහුල කරණ ලද්දාහ. යානයක් මෙන් කරන ලද්දාහ. වාස්තුවක් මෙන් කරණ ලද්දාහ. නිතර තමා කෙරෙහි පිහිටුවන ලද්දාහ. පුරුදු කරණ ලද්දාහ. භාවනායෙන් සම්පූර්‍ණ කරණ ලද්දාහ. වහන්ස, ඉදින් භගවත් තෙමේ කැමති වන්නේ හිමවත් මහපව්ව රන් ම යයි සිතන්නේ නම් රන්පව්වෙක් වන්නේ ය.

[භාග්‍යවතුන් වහන්සේ:]

ස්වර්‍ණසංඛ්‍යාත ජාතරූපයෙන් නිමි හුදු පව්වෙක් වේ නම් එමෙන් දෙගුණයක් මහත් පව්වක් වුව ද එක් පුරුෂයකුගේ සිතට නොසෑහේ. මෙසේ දන්නා නුවණැත්තේ සම ව හැසිරෙන්නේ ය.

යම් පස්කම් කෙනකුන්ගේ හේතුයෙන් දුක පහළ වේ යයි යමෙක් දුක දිටි නම් ඒ සත්ත්ව තෙමේ කෙසේ පස් කම් සුවෙහි නැමෙන්නේ ද (නුවණැති) සත්ත්ව තෙමේ ලෝකයෙහි පස්කම්හු 'සඞගයහ'යි දැන පස්කම් දුරලීම පිණිස ම හික්මෙන්නේ ය.

ඉක්බිති පවිටු මාර තෙමේ භගවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

දසවැනි වූ රජ්ජ සූත්‍රය නමියේ ය.