සකලික සූත්‍රය

4. 2. 3

සකලික සූත්‍රය. 

149. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුවවෙනෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්කඩෙකින් පහරණ ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට ශරීරයේ හටගත් දැඩි රළු කුළු නොමිහිරි නොකල් මහත් දුක් වේදනාවෝ පවතීත්. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සිවුගුණ කොට පණවා දකුණු පා මත වම් පා මඳක් හයා තබා සිහි නුවණ ඇති ව දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.

එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

මුළා බැවින් හෝ කවිභාවයෙන් මත්වූයේ හෝනෙහි නු? මුබට බොහෝ වූ වැඩ නැත් ද? ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි නිදිබර මුහුණු ඇති ව හුදෙකලාව ම කුමක් හෙයින් හෝනෙහි ද?

[භාග්‍යවතුන් වහන්සේ:]

මුළා බැවින් නො නිදමි. කවිභාවයෙන් මත්වුයෙම් නො නිදමි. මම පරමාර්ථයට මැනවින් පැමිණ පහ ව ගිය ශෝක ඇත්තෙම් වෙමි. මම සර්‍වභූතහිතානුකම්පීව ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි හුදෙකලාව හෝනෙමි.

යම් කෙනකුන්ගේත් ලෙහි තියුණු හුලෙක් පිවිසියේ ද, හෘදය ක්ෂණ ක්ෂණයෙහි සැලෙන්නේ වේ ද, මේ ලෝකයෙහි (ඒ රාගාදි) හුල් ඇති ඔහු ද නිදි ලබත්. පහව ගිය (රාගාදි) හුල් ඇති මම කුමක් හෙයින් නො නිදම් ද!

නිදි වරන්නෙම් ද සැක නො කරමි. නිදන්නටත් නොබමි. රෑ දාවල්හු මා නහමක් තවත් ලොව කිසිතැනෙක (මාගේ) පිරිහීමක් නො දකිමි. එහෙයින් සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරණ සුලු වූයෙම් හෝනෙමි.

ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී. සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

තෙවැනි වූ සකලික සූත්‍රය නිමියේ ය.