ආළවක සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

10. යක්ඛ සංයුත්තය

____________________

1.ඉන්දක වර්ගය

 

10.1.12

 

ආළවක සූත්‍රය

   

246. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර සමීපයෙහි ආළවක යකුගේ භවනයෙහි වැඩවසන සේක. එකල්හි ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.

දෙවන වට දු ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. තෙවන වටදු ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. සිවුවන වට දු ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි, මම නො නික්මෙන්නෙමි. තා විසින් යමක් කටයුතු නම් එය කරව යි.

[අළව්:]

මහණ, තොපගෙන් පැණයක් විචාරන්නෙමි. ඉදින් මට (එය) නො විසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්ෂේප කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නෙමි.

[භගවත්හු:]

ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත හෝ වික්ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නේ ද, එබන්දකු මම නො දකිමි. වැලි දු ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි ද (එය) විචාරව යි. ඉක්බිති ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කී ය:

මෙ ලොව සත්වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේ ද? කිමෙක් මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවා ද?රසයන් අතුරෙන් කුමක් ඉතා මිහිරි ද? කෙසේ ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියද්ද?

[භගවත්හු:]

මෙලොව සත්වයාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය වේ. දහම මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවයි. රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් ඉතා මිහිරි ය. නුවණින් ජිවත්වනහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියත්.

[අළව්:]

ඕඝය කෙසේ තරණය කෙරේ ද? අණිවය කෙසේ තරණය කෙරේ ද? දුක කෙසේ ඉක්මවා ද? කෙසේ පිරිසිදු වේ ද?

[භගවත්හු:]

ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ. අප්‍රමාදයෙන් අණිවය තරණය කෙරේ. වීර්ය්‍යයෙන් දුක ඉක්මවයි. ප්‍රඥාවෙන් පිරිසිදු වේ.

[අළව්:]

නුවණ කෙසේ ලබා ද? ධනය කෙසේ ලබා ද? කෙසේ කීර්තියට පැමිණේ ද? කෙසේ මිත්‍රයන් සපයා ගණී ද? මෙලොවින් පරලොවට පැමිණ කෙසේ ශෝක නො කෙරේ ද?

[භගවත්හු:]

නො පමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්මය අදහන්නේ අසනු කැමැත්ත හේතු කොට ගෙණ නිවණට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි.

සුදුසු කටයුතු කරණ බහා නො තැබූ ධූර ඇති උත්ථානවීර්ය්‍ය ඇත්තේ ධනය ලබයි. සත්‍යවචනය කරණකොට ගෙණ කීර්තියට පැමිණේ. දන් දෙන්නේ මිත්‍රයන් බැඳ ගණී.

ගිහිගෙයි වෙසෙන ශ්‍රද්ධා ඇති යමකුහට සත්‍යයත්, ධර්මයත්, ධෘතියත්, ත්‍යාගයත් යන මේ සිවු දහම්හු වෙත් නම් හෙ තෙමේ පරලොවට පැමිණ එක්කාන්තයෙන් ශෝක නො කෙරෙයි. මෙලොවින් පරලොවට පැමිණ මෙසේ ශෝක නො කෙරෙයි.

සත්‍යයටත්, ඉන්ද්‍රියදමනයටත්, ත්‍යාගයටත්, ක්ෂාන්තියටත් අධික වූ යමක් මෙලොව ඉදින් ඇත් නම් (ඒ කුමැයි) බොහෝ වූ අනෙක් මහණ බමුණන් ද විචාරව යි.

[අළව්:]

සාම්පරායික වූ ද (දෘෂ්ටධාර්මිකවූ ද) යම් අර්ථයෙක් වේ නම් (එය) ඒ මම අද දනිමි. (එහෙයින්) දැන් බොහෝ වූ මහණබමුණන් කුමකට විචාරන්නෙම් ද,

ඒකාන්තයෙන් මට වැඩ පිණිස බුදුරජානන් වහන්සේ විසීම පිණිස අළව් නුවරට වැඩිසේක: යමකුට දෙන ලද්ද මහත්ඵල වේ නම් එය මම අද දනිමි.

ඒ මම (බුද්ධසුබුද්ධතාව කියා) බුදුරජානන් වහන්සේ ද, (ධර්මසුධර්මතාව කියා) ධර්මය ද (සඞ්ඝසුසඞ්ඝතාව කියා) සඞ්ඝයා ද වඳිමින් ගමින් ගම නුවරින් නුවර හැසිරෙන්නෙමි.

 

දොළොස් වැනි වූ ආලවක සූත්‍රය නිමියේ ය.