පුනබ්බසු සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

10. යක්ඛ සංයුත්තය

____________________

1.ඉන්දක වර්ගය

 

10.1.7

 

පුනබ්බසු  සූත්‍රය

 

   

241. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථාවෙන් භික්ෂූන්ට (කරුණු) දක්වා වදාරණ සේක. (කරුණු) ගන්වන සේක. තෙද ගන්වන සේක. සතුටු කරවන සේක. ඒ භික්ෂූහු ද අර්ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් මොනොවට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්.

ඉක්බිති පුනබ්බසු මවු යැකිනි කුඩාපුතුන් මෙසේ නැළවූ:

බුද්ධශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේගේ ධර්මය මම යම්තාක් අසන්නෙම් ද, උත්තරිකාවෙනි, ඒතාක් නිශ්ශබ්ද වව. පුනබ්බසුව, නිශ්ශබ්ද වව.

භාග්‍යවතුන් වහන්සේ හැම ගැටෙන මිදීම නම් වූ නිවණ වදාරණ සේක. මේ දහම්හි මාගේ පැතීම ප්‍රමාණාතික්‍රාන්ත වෙයි.

ලොව්හි සියපුත් තෙමේ ප්‍රිය වෙයි. ලොව්හි සිය හිමි තෙමේ ද ප්‍රිය වෙයි. මේ දහම සෙවීම එයටත් වඩා මට ඉතා ප්‍රිය වෙයි.

සදහම් ඇසීම යම් සේ සත්වයා දුකින් මුදා ද, ප්‍රියපුත්‍රයා ද ප්‍රියහිමියා ද (එසේ) දුකින් නො ම මුදයි.

දුකින් පීඩිත වූ ජරාමරණයෙන් යුක්ත වූ ලොව්හි ජරාමරණයෙන් මිදීම පිණිස යම් ධර්මයක් අවබෝධ කරණ ලද්දේ ද, ඒ ධර්මය අසන්නට කැමැත්තෙමි. එම්බා පුනබ්බසු, නිශ්ශබ්ද වව.

[පුනබ්බසු:]

මෑණියෙනි, (මම) නිහඬ වෙමි. මේ උත්තරාව ද නිහඬ ය. දහම ම අසනු මැනවි. සදහම් ඇසීම සුව ය.

මෑණියෙනි, සදහම නො දැන්මෙන් දුකසේ හැසිරෙමු. ප්‍රභාකර වූ පසැස් ඇති පැසුලු අත්බැව් දරණ මේ බුදුරජානන් වහන්සේ අතිශයින් මුළා වූ දෙවිමිනිසුන්ට දහම් දෙසන සේක.

[පුනබ්බසුමවු:]

උපන්නා වූ උරහොවින පුත් තෙමේ පණ්ඩිත වූයේ ම මැනවි. මාගේ පුත් තෙමේ ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේගේ පිරිසිදු දහම පතයි.

එම්බා පුනබ්බසු, සුවපත් වව. මම අද (සසරින්) ගොඩ නගුනෙම් වෙමි. ආර්ය්‍ය සත්‍යයෝ දක්නා ලදහ. මාගේ උත්තරාව ද අසාවා.

සත්වැනි වූ පුනබ්බසු සූත්‍රය නිමියේ ය.