සුචිලෝම සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

10. යක්ඛ සංයුත්තය

____________________

1.ඉන්දක වර්ගය

 

10.1.3

 

සුචිලෝම සූත්‍රය

   

237. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලොම යක්ෂයාගේ භවනෙහි ටඞ්කීතමඤ්චයෙහි වැඩ වසන සේක. එකල්හි ඛර යක්ෂ තෙමේ ද, සුචිලොම යක්ෂ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ගමන් කෙරෙත්.

ඉක්බිති ඛරලොම යක්ෂ තෙමේ “මේ ශ්‍රමණයෙකැ”යි සූචිලොම යක්ෂයාට මෙය කී ය.

මේ ශ්‍රමණයෙක් නො වේ. මේ ශ්‍රමණකයෙකි, හෙ ශ්‍රමණයෙක් දෝ නොහොත් ශ්‍රමණකයෙක් දෝ යි දැන ගණිමි. ඉක්බිති සූචිලොම යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට කය එළවීය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ කය (මඳක්) ඉවත් කළ සේක.

ඉක්බිති සූචිලොම යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, මා කෙරෙන් බියවෙහි ද?

[භගවත්හු:]

ඇවැත්නි, මම තා කෙරෙන් නො බමි. එහෙත් තගේ පහස ලාමකය.

[සූචිලොම:]

මහණ, තා ප්‍රශ්නයක් විචාරන්නෙමි. මහණ, ඉදින් මට නොවිසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්ෂේප කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. දෙපා ගෙණ හෝ ගඟ පරතෙර දමන්නෙමි යි.

[භගවත්හු:]

ඇවැත්නි, යමෙක් මාගේ සිත හෝ වික්ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, දෙපා ගෙණ හෝ ගඟපරතෙර දමන්නේ ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නොම දකිමි. ඇවැත්නි එහෙත් තෝ යමක් කැමැත්තෙහි නම් අස.

ඉක්බිති සූචිලොම යක්ෂ තෙමේ ගාථායෙන් කී ය:

රාගයත් ද්වේෂයත් කුමක් මූලහේතු කොට ඇත්ද? (කුසල් දහම්හි) නො ඇල්මත් (පස්කම්හි) ඇල්මත් ලොමුදහ ගැණුමත් කුමකින් හට ගත්තෝ ද? ගම් දරුවන් (අල්ලා ගත්) කවුඩකු (බැහැර කරන්නාක්) මෙන් විතර්කයෝ කොතැනින් ඉපිද කුසල් සිත බැහැර කෙරෙත් ද,

[භගවත්හු:]

රාගයත් ද්වේෂයත් මේ අත්බව මූලහෙතු කොට ඇත. අරතියත් රතියත් ලොමුදහ ගැණුමත් මෙයින් ම හට ගත්තේය. විතර්කයෝ මෙයින් හට ගෙණ ගම් දරුවන් කවුඩකු (බැහැර කරන්නාක්) මෙන් කුසල් සිත බැහැර කෙරෙත්.

අත්බැවින් හට ගත් විතර්කයෝ තෘෂ්ණායෙන් හට ගත්තෝ ය. නුගරුක්හි අරළු මෙනි. බොහෝ වූ විතර්කයෝ කාමවස්තූන්හි වෙසෙසින් අලුනාහු ය. වෙනෙහි ගැවසී ගත් මාලුවා වැලක් මෙනි.

යක්ෂය, අසව යම් කෙනෙක් ඒ අත්බවත් ඊට යමක් මූලහේතු වේ නම් එයත් දනිද්ද, ඔහු එය දුරු කෙරෙත්. ඔහු තරණය කිරීමට දුෂ්කර වූ තරණය නො කළවිරූ මේ චතුරෝඝය නැවත නූපදීම සඳහා තරණය කෙරෙත්.

 

තෙවැනි වූ සුචිලෝම සූත්‍රය නිමියේ ය