සුදත්ත සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

10. යක්ඛ සංයුත්තය

____________________

1.ඉන්දක වර්ගය

 

10.1.8

 

සුදත්ත සූත්‍රය

 

   

242. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ශීතවනයෙහි වැඩවසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති තෙමේ කිසියම් කටයුත්තක් සඳහා රජගහනුවරට පැමිණියේ වෙයි. අනාථපිණ්ඩික ගැහැවි තෙමේ බුදුරජානන් වහන්සේ ලෝපහළ වූ සේකැයි ඇසී ය. භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එකෙණෙහි ම එළඹෙනු කැමැත්තේ ද විය.

ඉක්බිති අනේපිඬු ගැහැවිහට මේ අදහස විය: භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙන්නට අද නොකල් ය. දැන් මම හෙට කල් ඇති ව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස එළඹෙනෙමියි බුදුන් කෙරෙහි ගිය සිහි ඇතිව හොත්තේ ය. අලුයම යයි හඟිමින් රෑ තුන්යලක් නැගී සිටියේ ය. එකල්හි අනාථපිණ්ඩික ගැහැවි තෙමේ සොහොන්දොර වෙත පැමිණියේ ය. අමනුෂ්‍යයෝ දොර විවර කළහ.

ඉක්බිති අනේපිඬු ගැහැවියහු නුවරින් නික්මෙද්දී එළිය අතුරුදහන් විය. අඳුර පහළ විය. බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් පහළ විය. එයින් ම පෙරළා යනු කැමැත්තේ ද විය. එකල්හි සීවක යක්ෂ තෙමේ අතුරුදන් වූයේ (මතු දැක්වෙන) ශබ්දය ඇස්වී ය:

සියක්දහසක් ඇත්තු ද, සියක්දහසක් අස්හු ද, සියක්දහසක් අශ්වතරියෝ ද, සියක්දහසක් රිය ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද සියක්දහසක් කන්‍යාවෝ ද (යමකුට ලැබුනාහු ද, ඒ ලාභයෝ බුදුන් දක්නට යන්නහුගේ) එක්පියවරක සොළොස්වැනි කලාවෙන් කලාවටත් නො අගිත්.

ගැහැවියෙනි, ඉදිරියට යව. ගැහැවියෙනි, ඉදිරියට යව. තොපගේ ඉදිරියට යෑම මැනැවි. ආපසු යෑම නො මැනැවි.

ඉක්බිති අනේපිඬු ගැහැවිහට අඳුර අතුරුදන් විය. එළිය පහළ විය යම් බියෙක් තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් වී නම් එය සන්සිඳිනි.

දෙවන වට දු ...

තෙවන වට දු අනේපිඬු ගැහැවිහට එළිය අතුරුදන් වි ය. අඳුර පහළ විය. බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් පහළ විය. එයින් ම පෙරළා යනු කැමැත්තේ ද විය. තෙවන වට දු සීවක යක්ෂ තෙමේ අතුරුදන් වූයේ (මතු දැක්වෙන) ශබ්දය ඇස්වී ය:

සියක්දහසක් ඇත්තු ද, සියක්දහසක් අස්හු ද සියක්දහසක් අශ්වතරියෝ ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද සියක්දහසක් කන්‍යාවෝ ද (බුදුන් දක්නට යන්නහුගේ) එක් පියවරක් පිළිබඳ සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.

ගැහැවියෙනි, ඉදිරියට යව. ගැහැවියෙනි, ඉදිරියට යව. තොපගේ ඉදිරියට යෑම මැනැව. ආපසු යෑම නො මැනැව.

ඉක්බිති අනේපිඬු ගැහැවිහට අඳුර අතුරුදන් විය. එළිය පහළ විය. යම් බියෙක් තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් වී නම් එය සන්සිඳිනි. ඉක්බිති අනේපිඬු ගැහැවි තෙමේ ශීතවනයට වෙත එළඹියේ ය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම නැගිට අබවස සක්මන් කරණ සේක. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ අනේපිඬු ගැහැවීහු දුර දී ම දුටු සේක. දැක සක්මනින් බැස පැනවූ අසුනෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ අනේපිඬු ගැහැවිහට "සුදත්ත, (මෙහි) එව"යි මෙය වදාළ සේක.

එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ නමින් මා අමතන සේකැ යි එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, කිම? භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතපුනු සේක් දැ’යි මෙය සැළ කළේ ය.

[භගවත්හු:]

යමෙක් කාමයන්හි නොතැවරේ ද, (කෙලෙස් ගිනි නැති බැවින්) සිහිල් වූයේ ද, උපධි රහිත ද පිරිනිවියා වූ (ඒ ක්ෂීණාස්‍රව) බමුණු තෙමේ හැමකල්හි ඒකාන්තයෙන් සුවසේ හොවී.

සියලු තෘෂ්ණාවන් සිඳ හෘදය ඇසුරු කළ විඩාව දුරු කොට සිත්හි සන්සිඳීමට පැමිණ උපශාන්ත වූයේ සුවසේ හොවී.

 

අටවැනි වූ සුද්ත්ත සූත්‍රය නිමියේ ය.