අරති සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

8. වඞ්ගීස සංයුත්තය

____________________

1.වඞ්ගීස වර්ගය

8.1.2

අරති සූත්‍රය 

210. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචෙතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රොධකප්ප තෙරුන් සමග වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නිග්‍රොධකප්ප තෙරණුවෝ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු වෙහෙරට පිවිසෙති. සවස හෝ පසුදින පිඬු සිඟන වේලෙහි හෝ නික්මෙති. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වෙයි. රාගය සිත වනසයි.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතියෙක් උපන්නේ ද, රාගය සිත වනසා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒකාන්තයෙන් මට ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මට නපුරු ලැබීමෙකි. ඒකාන්තයෙන් මට මනා ලැබීමෙක් නොවේ. යම් හෙයකින් මෙරමා අනභිරතිය දුරු කොට අභිරතිය උපද වන්නේ නම් එය මෙහිලා කොයින් ලැබිය හැකි ද, මම තමාගේ අනභිරතිය තෙමේ ම දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ අදහස විය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමා ගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වෙලාවෙහි මේ ගාථා කී ය.

යමෙක් (සස්නෙහි) නො ඇල්ම ද (පස්කම් ගුණයෙහි) ඇල්ම ද ගෙහනිඃශ්‍රිත වූ පාපවිතර්ක ද සර්වප්‍රකාරයෙන් දුරු කොට කිසි අරමුණෙක්හි කෙලෙස් නමැති මහවනය නො කරන්නේ ද, කෙලෙස්වන නැති තෘෂ්ණාරති නැති හෙ තෙමේ භික්ෂු නම් වේ.

මේ ලෝකයෙහි පොළොව ඇසුරු කළා වූ ද, අහස ඇසුරු කළා වූ ද, ලෝකයෙහි ඇතුළත් වූ යම්කිසි රූපයෙක් වේ ද, ඒ සියල්ල සහමුලින් දිරයි. අනිත්‍ය යි. මෙසේ දැන දන්නා ලද අත්බැව් ඇත්තෝ වෙසෙත්.

ජනයෝ උපධීන්හි ද ඇසින් දුටු රූපයෙහි හා කණින් අසූ ශබ්දයෙහි ද ප්‍රතිඝසඞ්ඛ්‍යාත ගන්ධ රස දෙක්හි ද ඵොට්ඨබ්බාරම්මණයෙහි ද ගිජු වූවාහු වෙත්. යමෙක් මේ පඤ්චකාමයෙහි ආශාව දුරු කොට අශා නැත්තේ මෙහි නො අැලේ ද, ඔහු මුනි යයි කියත්.

වැලි සාරමුණු ඇසුරු කළ බොහෝ වූ අධර්මවිතර්කයෝ ප්‍රජාව කෙරෙහි වැදගත්තාහු වෙත්. කිසිතැනෙක ක්ලේශවර්ගයට පැමිණියෙක් නො වන්නේ ද, දූළුල් තෙපුල් බණන්නෙක් නොවන්නේ ද, හෙ තෙමේ භික්ෂු නම් වේ.

පණ්ඩිත වූ දිගුකලක් මුළුල්ලෙහි සමාහිත සිත් ඇති කුහක නො වූ පරිණතප්‍රඥාවත් වූ තෘෂ්ණා රහිත වූ භික්ෂු තෙමේ නිවණට පැමිණියේ ය. නිවන් නිසා කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ සකන්ධපරිනිර්වාණ කාලය අපේක්ෂා කෙරෙයි.

 

දෙවැනි වූ අරති සූත්‍රය නිමියේ ය.