ආනන්ද සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

8. වඞ්ගීස සංයුත්තය

____________________

1.වඞ්ගීස වර්ගය

 

8.1.4

ආනන්ද සූත්‍රය   

212. එක්කලෙක ආයුෂ්මත් ආනන්දතෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් වඞ්ගීස නම් පසු මහණහු සමග සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ.

එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනහිරතියෙක් උපන්නේ වේ: රාගය සිත වනසයි. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට ගාථායෙන් කී ය:

කාමරාගයෙන් දැවෙමි. මාගේ සිත හාත්පසින් දැවේ. ගෞතමයන් වහන්ස, අනුකම්පා පිණිස (ඒ රාගගින්න) නිවිමේ උපායක් වදාළ මැනව.

[අනඳතෙරහු:]

සංඥා විපර්යාස හේතුවෙන් තොපගේ සිත දැවෙයි. රාගොත්පත්තියට හේතු වූ සුභාරම්මණය දුරු කරව.

සංස්කාරයන් අනිත්‍යවශයෙන් ද දුක්වශයෙන් ද දකුව, ආත්මවශයෙන් නො ද.කුව. මහාරාගය නිවව. (එවිට) නැවත නැවත නහමක් දැවෙහි.

අසුභභාවනාවෙහි එකඟ කොට සමාධි ගත කොට සිත වඩව, තට කාගියා සිහිය ඇති වේවා, නිර්වේදය බහුල කොට ඇත්තෙක් වෙව.

විදර්ශනාව ද වඩව, මානානුසය උපුටා හරුව. ඒ මානය දුරු කිරීම් හේතුවෙන් උපසාන්තයෙක් ව හැසිරෙන්නෙහි ය.‍

 

සිව්වැනි වූ ආනන්ද සූත්‍රය නිමියේ ය.