ගග්ගරා සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

8. වඞ්ගීස සංයුත්තය

____________________

  1. වඞ්ගීස වර්ගය

 

8.1.11

ගග්ගරා සූත්‍රය

 

   

219. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක.

එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට හමුවෙහි ප්‍රශංසා කරන්නෙම් නම් මැනවැයි මේ අදහස විය.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා!යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට ඉදිරියෙහි පැසසී ය.

පහව ගිය වලාකුළු ඇති අහස්හි සඳුත් නිර්මල වූ හිරුත් යම්සේ බබලද්ද, මහාමුනි වූ බුදුරජානන් වහන්ස, මුබවහන්සේ ද, එසේ ම යශසින් සියලු ලොකයා අබිබවා බබලන සේක.

 

එකොළොස්වැනි වූ ගග්ගරා සූත්‍රය නිමියේ ය.