නික්ඛන්ත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

8. වඞ්ගීස සංයුත්තය

____________________

  1. වඞ්ගීස වර්ගය

 

8.1.1

නික්ඛන්ත සූත්‍රය

   

209. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචෙතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රොධකප්ප තෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අලුත පැවිදි වූ වෙහෙර නවතින වෙහෙර රක්නා නවකයෙක් වෙයි.

ඉක්බිති බොහෝ ස්ත්‍රීහු සැරසී වෙහෙර දක්නා කැමැත්තාහු අග්ගාලවකආරාමය කරා පැමිණියහ. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට ඒ ස්ත්‍රීන් දැක අනභිරතිය උපදයි. රාගය (කුසල්) සිත වනසයි.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතිය උපන්නී ද, රාගය සිත වනසා ද, ඒකාන්තයෙන් (එය) මට අලාභයෙක. ඒකාන්තයෙන් එය මට ලාභයෙක් නො වේ. මට ඒකාන්තයෙන් දුර්භාග්‍යයෙකි. ඒකාන්තයෙන් මට යහපත් භාග්‍යයෙක් නොවේ. යම් හෙයකින් මෙරමා මාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවන්නේ නම් එය මෙහි කොයින් ලැබිය හැකි ද, මම තෙමේ ම තමාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ සිත විය.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කීය.

ගිහිගෙයින් නික්මුනාවූ ම සස්නට පැමිණියා වූ මා කරා බුහුටි වූ මේ විතර්කයෝ මාරයා කෙරෙන් ඒකාන්තයෙන් දිව එත්.

උග්‍රපුත්‍ර (රාජන්‍ය) වූ මහත්දුනු ඇති (ධනුශ්ශිල්පයෙහි) මොනවාට හික්මුනු දැඩි ඇදුරු දුනු දරන්නාවූ පලා නොයන ඔවුන් දහස්හුදු හාත්පස ඊතල විසුරුවනාහු ද (දක්ෂ පුරුෂයාට ඒ සියල්ල වැළකිය හැකිය.)

ඉදිනුදු මේ පමණ (දහස) ටත් වඩා ස්ත්‍රීහු එන්නාහු ද, ස්වකීය (ශාසන) ධර්මයෙහි පිහිටි මා නො පෙළන්නාහු ය*.

සූර්යබන්ධු වූ බුදුරජානන් වහන්සේ සම්මුඛයෙන් ම මේ නිවන් යන මග මා විසින් අසන ලද්දේ ය. එහි මාගේ සිත ඇලුනේ ය.

පවිට, ඉදින් මෙසේ වසන්නා වූ මා කරා පමිණෙහි ද, මරුව (තෝ යම්සේ) මා ගිය මගක් නො දක්නෙහි ද, එසේ කරන්නෙමි.

* දුනුවායෝ වරකට එක්සැරයක් ම විදිති. ස්ත්‍රීහු වූ කලි වරකට රූපාරම්මණාදී සැර පසක්ම විදිති. එහෙත් ඔවුන් දහසකට මා පෙළීය නො හැකිය යි යූසේ යී

 

පලමු වැනි වූ නික්ඛන්ත සූත්‍රය නිමියේ ය.