පරොසහස්ස සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

8. වඞ්ගීස සංයුත්තය

____________________

  1. වඞ්ගීස වර්ගය

 

8.1.8

පරෝසහස්ස සූත්‍රය

   

216. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි මහත් බික් සඟන අඩතෙළෙස් භික්ෂූන් දහස සමග වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමිකථාවෙන් භික්ෂූන්ට කරුණු දක්වන සේක. (ඔවුන්) සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරණ සේක. ඒ භික්ෂූහු ද අර්ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් මනා කොට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්.

ඉක්බිති වඞ්ගීස තෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ  නිවන් පිළිබඳ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වන සේක. (ඔවුන්) සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරණ සේක. ඒ භික්ෂූහු ද අර්ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් සමනාකොටගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට හමුවෙහි ප්‍රශංසා කරන්නෙම් නම් මැනැවැ”යි මේ අදහස වි ය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා! යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් හමුවෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:

අරාදහසක් පමණ භික්ෂූහු (කොයිනුත් බියක් නැති බැවින්) අකුතොභය වූ නිර්මල වූ නිර්වාණ ධර්මය දේශනා කරණ බුදුරජානන් වහන්සේ පයිරුපාසනය කෙරෙත්.

සම්මාසම්බුදුරජානන් වහන්සේ විසින් දෙසෙන නිර්මල වූ ධර්මය අසත්. බික්සඟන විසින් පෙරටු කරණ ලද සම්බුදුරජානන් වහන්සේ ඒකාන්තයෙන් හොබනා සේක.

භාග්‍යවතුන් වහන්සේ, (මුබවහන්සේ) නාග නම් වන සේක. (විපස්සී ආදි බුද්ධ) ඍෂින් අතුරෙන් සත් වැනි ඍෂි වන සේක. නොහොත් (ප්‍රතෙයකබුද්ධාදි) ඍෂින්ට අතිශ්‍රේෂ්ඨ ඍෂි වන සේක. මහාමෙඝයක් මෙන් වී සව්වන් (සදහම් වැස්සෙන්) තෙමන සේක.

මහාවීරයන් වහන්ස, මුබවහන්සේගේ ශ්‍රාවක වූ වඞ්ගීස තෙමේ ශාස්තෲන් වහන්සේ දකිනු කැමැත්තෙන් දිවා විහරණයෙන් නික්ම අවුත් (මුබවහන්සේගේ) සිරිපා වඳියි.

කිමෙක් ද? වඞ්ගීස, මේ ගාථාවෝ තා විසින් පෙර සිතන ලද්දාහු ද? නැත හොත් තට (අවස්ථාවශයෙන්) එකෙණෙහි ම (වැටහෙද්ද?)

වහන්ස, මේ ගාථාවෝ මා විසින් පෙර සිතන ලද්දාහු නො ම වෙති. වැලි (අවස්ථාවශයෙන්) එකෙණෙහි ම (මට වැටහෙත්.)

වඞ්ගීස, එසේ වී නම් පෙර කල්පනා නොකරණ ලද ගාථාවෝ බෙහෙවින් ම තට වැටහෙත්වා.

ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා පෙර කල්පනා නොකරණ ලද ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට බෙහෙවින් ප්‍රශංසා කෙළේ ය:

මාරයාගේ කෙලෙස් පීඩා නමැති උමං මැඩ (රාගාදි පඤ්ච) ඛීලයන් බිඳ හැසිරෙන සේක. කෙලෙස් බැඳුම් මුදා ලන රාගාදියෙන් අනිඃශ්‍රීත වූ ධර්මය කොටස් වශයෙන් බෙදන්නා වූ ඒ තථාගතයන් වහන්සේ දකිවු.

චතුරොඝ නිත්ථරණය පිණිස අනේකවිධ වූ මාර්ගය වදාළ සේක. උන්වහන්සේ විසින් වදාරණ ලද ඒ අමෘතයෙහි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අසංහාරිය ව (රගාදියෙන් හැකිළිය නො හැකියේ තහවුරුව) පිහිටි යෝ ය.

ඥානාලෝකය පහළ කළ බුදුරජානන් වහන්සේ ධර්මය අවබෝධ කොට සියලු දෘෂ්ටිස්ථානයන්ගේ හෝ විඥානස්ථිතීන්ගේ ඉක්මීම දුටු සේක. දැන ප්‍රත්‍යක්ෂ කොට උන්වහන්සේ උතුම් ධර්මය දශාර්ධයන්ට හෙවත් පස්වග මහණුන්ට දෙසූ සේක.

මෙසේ ධර්මය මොනොවට දේශනා කොට ඇතිකල්හි ධර්මය දැන ගන්නවුන්ගේ කවර ප්‍රමාදයෙක් ද, එහෙයින් (තථාගතයන් වහන්සේට) නමස්කාර කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි අප්‍රමාදී ව හැම කල්හි පිළිවෙළින් හික්මෙන්නේ ය.

 

අටවැනි වූ පරොසහස්ස සූත්‍රය නිමියේ ය.